Monday, January 1, 2018

පාසලේ ගුරු භවතුන්ට E-Board භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන

මීට පෙර ලිපියක මම සඳහන් කලා අපේ පාසලට ප්‍රථම විද්‍යුත් පුවරුව ස්ථාපනය කලා කියලා. එහි අවසානයට මා සඳහන් කර තිබුණා මේ විද්‍යුත් පුවරුව භාවිතය සම්බන්ධයෙන් අපේ ගුරුභවතුන්ට පුහුණුවක් ලබා දී ඉන් විපුල ප්‍රයෝජන ගැනීම කල යුතුයි කියලා.


එම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්, පාසල් නිවාඩු කාලයේ එනම් 2017 දෙසැම්බර් 29 දා අපේ පාසලේ තෝරාගත් ගුරු භවතුන් පිරිසකට එම විද්‍යුත් පුවරුව භාවිතය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වූවා. මෙහි විශේෂත්වය වන්නේ තෝරාගත් ගුරු භවතුන්ට අමතරව අනෙක් ගුරු භවතුන්ටත් විවෘත ආරාධනාවක් කර තිබුණා එයට සහභාගී වීම සඳහා. එමනිසා එය කොතරම් සාර්ථක වී ද යත් බලාපොරොත්තු වූවාට වඩා වැඩි පිරිසක් එයට සහභාගී වූවා.

එමගින් ප්‍රථම අදියරේ දී විද්‍යුත් පුවරුව භාවිතා කර පාඩම් ඉගැන්වීම සිදුකිරීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීමත්, ඉන්පසු එම ගුරුභවතුන් විසින් අප පාසලේ අනෙක් සහෝදර ගුරු භවතුන්ටත් එම දැනුම බෙදා දීමත් මම අපේක්ෂා කරනවා.

පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ අප විද්‍යුත් පුවරුව මිල දී ගත් MAT International ආයතනයේ ක්‍රියාකාරී කළමනාකරු භානු ගුරුගේ මහතා විසිනි.






සුහුරු ගුරු තානාපතිවරුන්ගේ පස්වන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ පස්වන සහ අවසාන පුහුණු සැසිය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ 2017 දෙසැම්බර් 29 දා පැවැත්වූවා.


ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.



සැබෑ ලෝකයෙන් එපිට අපූරු ලොවක්, නරඹන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබී තිබුණා. එනම් Virtual Reality තාක්ෂණය ඔස්සේ අපට කිසිදා යන්නට බැරි අඟහරු ග්‍රහයා මත පවා ඔවුන් සංචාරය කර ඇති බව දැනගන්නට මට ලැබුණා. එය ඇසූ මම විශ්මයට පත්වූවා. ඔවුන් එසේ සංචාරය කලේ කෙසේ ද? එහි අමුත්තක් නැත.

ජංගම දුරකථනයට Virtual Reality වීඩියෝවක් ඇතුළත් කර, VR Box නම් උපකරණයට ජංගම දුරකථනය ඇතුළත් කර ඔවුන් එය නරඹා තිබුණා.


පහත දැක්වෙන්නේ එහි වීඩියෝවයි.




ඉන්පසු ඔවුන් තවත් අපූරු අත්දැකීමක් ලබාගෙන තිබුණා. එනම් කවදාවත් හැබැහින් දකින්න බැරි මිනිස් සිරුරත්, හෘදය වස්තුවත් ඔවුන් සියැසින් දැක තිබුණා. ඒ Augmented Reality තාක්ෂණය ඔස්සේ.

ඒ හරහා Anatomy 4D නම් App එක ජංගම දුරකතනයේ ස්ථාපනය කර http://anatomy4d.daqri.com/documents/anatomy-posters-all.pdf යන සබැඳියෙන් මිනිස් සිරුර සහ හෘදය වස්තුව පෝස්ටර් වලට ජංගම දුරකථනයෙන් App එක විවෘත කර ඇල්ලූ විට හැබැහින් ම මිනිස් සිරුර සහ හෘදය වස්තුව දැක තිබුණා. තාක්ෂණය මේ තරම් දියුණු යුගයක් කරා ඇවිත් තිබෙනවා ද යන්න මට අවබෝධ වූයේ ඒ ගැන ඇසීමෙන් පසුවයි. මෙවැනි තවත් App වර්ග ගණනාවක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා.


ඉන්පසු මෙම පුහුණුවේ අවසාන වශයෙන් ඔවුන් E-Board ගැන දැනුවත් වී තිබුණා. ඔවුන් එහි කුඩා අත්හදාබැලීම් ද කර තිබුණා.


සත්‍ය වශයෙන්ම මේ පුහුණු සැසි වලට සහභාගී වීම නිසා, ඔවුන් අළුත් දේවල් ගණනාවක් ඉගෙන ගත් බවටත් මා වෙත ප්‍රකාශ කර සිටියා.