Thursday, May 28, 2020

MS Teams මගින් නොනැවතී ඉදිරියට - 2

MS Teams මගින් අප කල නියාමන පරීක්ෂණය සාර්ථක වූ නිසා ම අපගේ පාසලේ සියලුම ශ්‍රේණිවල ගුරුභවතුන් සිසුවියන්ට පැවරුම් ලබා දීමට පෙළඹුණු ආකාරය මම කලින් ලිපියේ සඳහන් කර තිබුණා.




දැන් මම කියන්න යන්නේ එයින් තවත් ඉදිරියට ගිය පියවරක් ගැන. ඒ සජීවීව අපගේ දරුවන් සමග ගුරුභවතුන් MS Teams මගින් සම්බන්ධ වී ඉගැන්වීම. මෙතෙක් අපගේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පමණක් සිදුකරන ලද මෙම අත්හදා බැලීම ඉන් ඔබ්බට ගොස් වෙනත් විෂයන් උගන්වන ගුරුභවතුන් සිදුකරන්නටත් පටන් ගත්තා. එසේම මෙහි දී අවශ්‍ය නම් පාඩම පටිගත කරගැනීමේ පහසුකමත් තිබෙන නිසා සහභාගී වීමට නොහැකි වූ දරුවන්ට ද එම පාඩම මගහැරෙන්නේ නැහැ.

මේ දැක්වෙන්නේ එවැනි පටිගත කරන ලද අවස්ථා කිහිපයක්.

13 ශ්‍රේණිය - ගිණුම්කරණය - තුෂාරි ගලප්පත්ති මිය


11 ශ්‍රේණිය - ඉතිහාසය (දෙමළ මාධ්‍යය) - ජෙලන්සි රොහාන් මිය


මීට අමතරව අපගේ ගුරු භවතුන් තවත් ක්‍රමවේද භාවිතා කරමින් පාඩම් සැකසීමට උත්සුක වූවා. ඒ ගැනත් මම ඉතාම සතුටු වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි උදාහරණ කීපයක්.

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව - කේ. ආර්. රංජිත් පෙරේරා මයා (නියෝජ්‍ය විදුහල්පති) Bandicam මෘදුකාංගය ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.



11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව - යසස්මි හේමචන්ද්‍ර මිය MS PowerPoint ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.



7 ශ්‍රේණිය විද්‍යාව හා තාක්ෂණවේදය (සිංහල මාධ්‍යය) - කුෂාන් හිග්ගොඩ මයා InShot App එක ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.


9 ශ්‍රේණිය විද්‍යාව හා තාක්ෂණවේදය (ඉංග්‍රීසි මාධ්‍යය) - කුෂාන් හිග්ගොඩ මයා InShot App එක ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.



මෙහි දී මා සඳහන් කර තිබෙන්නේ උදාහරණ කිහිපයක් පමණයි. එනමුත් මේ දුෂ්කර කාල සීමාවේ දී තම වගකීම පැහැර නොහැර සිටි මගේ ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු භවතුන් සියලු දෙනාම මම කෘතවේදීව සිහිපත් කරනවා.

එසේ ම මගේ ආදරණීය සාන්ත ආනාවියන් අතරේ විවිධ දුෂ්කරතා තිබෙන දරුවනුත් සිටිනවා. මේ පාඩම් එකකටවත් සම්බන්ධ වීමට නොහැකි වූ ඔබව අප කිසිදා අමතක කර නැහැ. පාසල් ආරම්භ වූ පසු ඔබට මේ සියලුම පාඩම් ඉගැන්වීමට අප සියලුම දෙනා බැඳී සිටිනවා. ඒ නිසා ඔබ තනි වෙලා නැහැ.

ඒ වගේම ආදරණීය දෙමාපියන්ටත් මා මගේ ස්තූතිය පුද කරනවා. ඔබ ඔබගේ දරුවන් වෙනුවෙන් අන්තර්ජාල ගාස්තු ගෙවමින් කෙසේ හෝ මේ දුෂ්කර වූ කාලසීමාවේදී පැවරුම් ලබා දීමට උත්සුක වූ ආකාරය මා හොඳින්ම දන්නවා.

සියලුම දරුවන්ට තාක්ෂණික වශයෙන් එක හා සමාන ව ඉගෙනීමේ පහසුකම් ලැබෙන දවස ඉක්මනින් එළැඹේවා යන්න අපගේ පැතුමයි !!!

Tuesday, May 12, 2020

MS Teams මගින් නොනැවතී ඉදිරියට - 1

CoViD-19 වසංගත තත්ත්වය හමුවේ අපට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරගෙන යාම සඳහා ආකාර තුනකට සිදුකල බව මම කලින් ලිපියෙන් ඔබට පැහැදිලි කලා.

ඇත්ත වශයෙන් ම මෙතන දී අපගේ දරුවන් සියලු දෙනාට ම මෙම ක්‍රමවේදයට අනුගතවන්නට නොහැකි බවත් අප මතක තබාගත යුතුයි. එනමුත් අපගේ ඇතැම් දරුවන් විසින් තමන් මාර්ගගතව ලබාගත් පැවරුම් එවැනි අපහසුතා තිබෙන දරුවන් වෙත ගොස් ලබා දීමට ද කටයුතු කර තිබුණු බවත් මම සතුටින් මතක් කරනවා.

මේ සියලුම ක්‍රමවේද යටතේ අපගේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ප්‍රතිචාර මැන බැලීමට අප වඩාත් උත්සුක වූවා. එමගින් වඩා ගුණාත්මක දුරස්ථ අධ්‍යාපනයක් ලබා දීමටයි අපට අවශ්‍ය වූයේ. එමනිසා අපි මාර්ගගත ක්‍රමයට මත විමසුමක් පවත්වනු ලැබුවා. 

එමගින් අපට ලැබුණු ප්‍රතිචාරවල සාරාංශය ඔබට මෙතැනින් බලන්නට පුළුවන්. මේ ප්‍රතිචාර අනුව අපට කරුණු කිහිපයක් අවබෝධ වුණා.

අපගේ දරුවන් අතරින් 88% ක් ම ජංගම දුරකතන මගින් මෙම පැවරුම් ලබා ගැනීමට උත්සුක වීම එක කරුණක්.



වීඩියෝ මගින් ඉගැන්වීමට වැඩි කැමැත්තක් තිබීම තවත් කරුණක්.

සමස්තයක් වශයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබුණා. මෙය NPS (Net Promoter Score) ආකාරයේ ගණනය කිරීමක්. 





මෙම ගණනය සිදුවන්නේ මෙසේයි. දරුවන්ට අප 1 - 10 දක්වා ශ්‍රේණිගත කිරීමේ ප්‍රශ්නයක් ලබා දී තිබුණා.


See the source image

ඒ අනුව 9 සහ 10 අගයන් වැඩියෙන් ලබා දුන් සංඛ්‍යාව ඉතා වැඩියි.

මේ ආකාරයේම මෙම මත විමසුමේ අප විසින් තවත් එක ප්‍රශ්නයක් දරුවන් වෙත යොමුකර තිබුණා. ඒ MS Teams පිළිබඳව ඔවුන්ගේ අදහස කුමක් ද යන්නයි. 



එයට ඉහත අගයට වඩා දෙගුණයක ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අනුව අපගේ 11 ශ්‍රේණියේ සිසුවියන් සඳහා කල නියාමන පරීක්ෂණය අතිශයින් ම සාර්ථක බව අපට වැටහුණා.



අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ජංගම දුරකතන භාවිතා කරන දරුවන්ට එතරම් සමීප නොවන නිසාත් ඔවුන්ට නව පැවරුම් ලැබීම පිළිබඳව දැනුම් දීමක් (notification) නොලැබීම නිසාත් ඒ සියලු අපහසුතා හැකිතරම් අවම කිරීමට සියලුම ශ්‍රේණිවල සිසුවියන්ට MS Teams හරහා පැවරුම් ලබා දීමට අපි කටයුතු කලා. ඒ අනුව මෙතෙක් ඉගෙනුම් කලමනාකරණ පද්ධතියට ඇතුළත් කල 6 - 13 ශ්‍රේණිවල සියලුම පැවරුම් MS Teams වෙත ඇතුළත් කර විෂයයන් අනුව Teams සාදා එම පැවරුම් යුහුසුළුව ඇතුළත් කිරීමට අපි කටයුතු කලා.


 

මෙමගින් අපගේ ගුරුභවතුන්ට ඉතා පහසුවෙන් පෙරට වඩා පැවරුම් ඇතුළත් කරන්නට හැකිවූවා. පරිගණක සාක්ෂරතාව අවම ගුරුභවතුන් පවා තම පවුලේ සාමාජිකයන්ගේ උදව් උපකාර ඇතිව එම පැවරුම් ඇතුළත් කරන්නට යුහුසුළු වූවා. එසේත් කිරීමට නොහැකි ගුරුභවතුන් අපගේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් හරහා දරුවන්ට පැවරුම් ලබා දීමට කටයුතු කර තිබුණා. අපගේ දමිළ අංශ ගුරුභවතුන් පවා එසේ කිරීමට පෙළඹුණා.