Saturday, December 23, 2017

සුහුරු ගුරුවරුන් බිහිකිරීමේ පුහුණු සැසිය - අංක 2

අපේ පාසල සුහුරු පාසලක් කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින්, පාසල් නිවාඩු කාලයේ දී එනම් 2017 දෙසැම්බර් 20 දා අපගේ සුහුරු ගුරු කව සාමාජිකයින් පිරිසක් පුහුණු සැසියකට සහභාගී වන ලදී.

එහි දී ඔවුන් https://sway.com සහ OneNote පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නා ලදී.

මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ලෙස ඒ වන විට අප පාසල යොදාගැනීම නිසා පරිගණක විද්‍යාගාරය භාවිතා කිරීමට නොහැකිවූවත් මාගේ විදුහල්පති කාර්යාලයේ සිට මගේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම වැඩසටහනට සහභාගී වීමයි. ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම මම මහත් සේ අගය කරමි.

පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ, අප පාසලේ සුහුරු ගුරු තානාපතිවරුන් වන පසන් හෙට්ටිආරච්චි, එස්. කුමරගුරු සහ මාධව විජේසේකර මහත්ම මහත්මීන් විසිනි.





සුහුරු ගුරු තානාපතිවරුන්ගේ සිව්වන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ සිව්වන පුහුණු වැඩසටහන 2017 දෙසැම්බර් 12 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.

ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.


එදින ඔවුන් අපූරු දේවල් රැසක් ඉගෙන ගෙන තිබුණා.

Hour of Code ලෙස ඔවුන්ගේ පළමු ක්‍රියාකාරකම කර තිබුණු අතර එය රටවල් 180+ ක පමණ සුවහසක් සිසුන් වෙත පරිගණක අධ්‍යාපනය ලඟාකිරීමේ ගෝලීය ව්‍යාපාරයකි. ලොව ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනක, ඕනෑම ආයතනකය Hour of Code වැඩසටහනක් සංවිධානය කල හැකිය.


පරිගණක වැඩසටහන්කරුවෙක් වන්නට එතරම් අමාරු නැති බවත් මූලික සිද්ධාන්ත නිවැරදිව ග්‍රහණය කරගත්තොත් එය ඉතාම ලෙහෙසි කාර්යයක් බවත් ඔවුන් මට පැවසුවා. ඔවුන්ට Frozen නම් Game එක ආශ්‍රයෙන් ක්‍රියාකාරකමක් කරන්නට අවස්ථාවක් ලබා දුන්බව ද පැවසුවා.



මෙය අපගේ පාසලේ ගුරු භවතුන්ට හට කියා දුන්නොත් අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි. එසේම පාසලේ ශිෂ්‍යාවන් ද මෙයට ඉතා කැමති වනු නොඅනුමානයි.


ඒ බැව් මට පසක් වූයේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුයි.


ඉන්පසු ඔවුන් Skype for Business නම් මෘදුකාංගය පිළිබඳව ඉගෙන ගෙන තිබුණා. මෙමගින් සාමාන්‍යයෙන් අපි දන්නා Skype මෘදුකාංගයට වඩා වැඩි යමක් සිදුකිරීමට හැකි බව ඔවුන් පැවසුවා. විශේෂයෙන් ම Virtual Field Trip එකක් යන්න, වෙනත් රටක ගුරුවරයෙක් හෝ විශේෂඥ පුද්ගලයෙක් සමග සම්බන්ධතා පවත්වමින් විෂය කරුණූ ඉගෙනීම ආදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල බොහෝ දේ කරගැනීමට එමගින් පුළුවන් බව ඔවුන් පැවසුවා. එම අවස්ථාවේ දී ම Skype for Business මගින් Video Call එකක අත්දැකීමක් ද ඔවුන් ලබාගෙන තිබුණා.




මීට අමතරව Power Apps මගින් ජංගම දුරකතන සඳහා අධ්‍යාපනයට අදාල Windows Apps නිර්මාණය කල හැකි බවත් Share Points හරහා සුහුරු ගුරු භවතුන් අතරේ පමණක් විවෘත වෙබ් අඩවි නිර්මාණය කල හැකි ආකාරයත් පිළිබඳව ඔවුන් දැනුවත් වී තිබුණා.


අවසාන වශයෙන් Office 365 Admin හරහා ඔවුන් තම සුහුරු ගුරු කව සාමාජිකයන් හට Office 365 ගිණුම් සාදා තිබුණු අතර එමගින් මෙතෙක් ඔවුන්ට පමණක් විවෘත ව තිබුණු Office 365 අපගේ සුහුරු ගුරු කව සාමාජිකයින්ට ද විවෘත වූවා.

Sunday, December 10, 2017

ප්‍රථම E - Board ස්ථාපනය

වත්තල සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයට 2017 දෙසැම්බර් 09 වන දා අති විශේෂ දවසක්. ඇත්තටම එදා ඓතිහාසික දවසක්. ඒ වගේම මගේ ජීවිතයේ වඩාත් සතුටුම දවසක්.

මම මීට පෙර ලිපියක් පල කලා E - Board සම්බන්ධ වැඩමුළුවකට සහභාගී වුණා කියලා.

එම ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.

ඉතින් මේ ලිපිය අවසානයේ දී මම සඳහන් කරලා තිබුණා මගේ සිහිනය පළමුව මගේ පාසලේ සුහුරු පන්ති කාමරයකට මෙවැන්නක් ලබා ගැනීමයි. කෙසේ හෝ මම එම අරමුණ කරා යනවා. කියලා.

ඔව් ඒ අරමුණ සාක්ෂාත් කරගනිමින්, අද දවසේ දී මම ඒ සිහිනය සැබෑ කරගත්තා. අපේ පාසලේ ඉතිහාසයේ ප්‍රථම විද්‍යුත් පුවරුව, E - Board එක අපේ පාසලේ දැනට සකසා ඇති සුහුරු පන්ති කාමරයේ ස්ථාපනය කලා.









අපේ පාසලේ ගුරු භවතුන් හට මේ සඳහා පුහුණුවක් ලබා දී එයින් විපුල ප්‍රයෝජන ගැනීමත්, මේ හරහා දෙමාපියන් දැනුවත් කර තවත් මෙවැනි විද්‍යුත් පුවරු අප පාසලට ලබාගැනීමට හැකිවෙතැයි මම අපේක්ෂා කරනවා.

Thursday, November 30, 2017

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ තුන්වන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ තුන්වන පුහුණු වැඩසටහන 2017 නොවැම්බර් 29 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.

ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.

එහිදී ඔවුන් විසින්, Office 365 හි විවිධ අංග ගැන දැනුමක් ලබා තිබුණා. එමගින් අන්තර්ජාලය හරහා ඔෆිස් පැකේජයෙන් අපේ කාර්යයන් කරගන්නා ආකාරය, මීට අමතරව Forms, OneDrive, Outlook සහ OneNote ගැනත් අත්දැකීමක් ලබා තිබුණා.





සුහුරු ගුරුවරුන් බිහිකිරීමේ පුහුණු සැසිය - අංක 1

අපේ පාසල සුහුරු පාසලක් කිරීමේ වැඩසටහනේ පියවරක් ඉදිරියට තබමින් 2017 නොවැම්බර් 28 වන දින පාසල් වේලාවෙන් පසුව අපේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පුහුණු සැසියකට සහභාගී වූ අයුරු.

එහිදී ඔවුන් විසින් තමන්ගේ Microsoft ගිණුම් සාදාගත් අතර සිංහලෙන් යතුරු ලියනය කරන ආකාරය ගැන ද පුහුණුවක් ලබාගන්නා ලදී.

පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ, අප පාසලේ සුහුරු ගුරු තානාපතිවරුන් වන පසන් හෙට්ටිආරච්චි, එස්. කුමරගුරු සහ මාධව විජේසේකර මහත්ම මහත්මීන් විසිනි.






E - Board පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අපේ සුහුරු පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අපට තවත් වැදගත් උපකරණයක් තමයි විද්‍යුත් පුවරුව, එහෙම නැත්නම් අපි දන්නා කියන විදියට E-Board එක.

ඉතින් මේ ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 නොවැම්බර් 24 වන දා බප/කැල/ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ සඳහා සාන්ත ආනා බාලිකාවේ විදුහල්පතිනිය හැටියට මමත් අපේ පාසලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ගුරුභවතා වන මාධව විජේසේකර මහතාත් සහභාගී වුණා.

එහි දී MAT International Trading Co (PVT) Ltd ආයතනයෙන් E-Board පිළිබඳව මනා ව පැහැදිලි කලා.


මේ සඳහා E - Class නමැති මෘදුකාංගය ද අවශ්‍ය බව පැහැදිලි කලා. එසේම පන්ති කාමරය තුළ වන පරිගණකය ඉතාම හොඳ මට්ටමේ වේගවත් විය යුතු බවත් පවසා සිටියා.

මම අවබෝධ කරගත්ත විදියට E - Board එකේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයන් තියෙනවා.

  • අතේ ඇඟිලි 10 ම භාවිතා කර ස්පර්ශක තිරය හසුරවන්නට පුළුවන්.
  • මකනය සඳහා අත ම භාවිතා කරන්නට පුළුවන්.
  • ආලෝක පෑන භාවිතා කරන්නටත් පුළුවන්.
  • නැවත කියලා දෙන්නට ඕනෑ නම් Replay කරලා පෙන්වන්නට පුළුවන්. අමුතුවෙන් මකලා අඳින්නට ඕන නැහැ.
  • ගුරුවරයෙක් කියා දුන් දේ, Save කරලා තියා ගන්නට පුළුවන්. එතකොට පාසල් නොපැමිණි ළමයෙකුට වුවත් පහුවදා Replay කරන්නට පුළුවන්. වසර ගණනාවක් වුණත් පරිගණක මතකයේ පවත්වන්නට පුළුවන්.
  • Board එකේ කැන්වසය අනන්තය දක්වා තිරස්ව සහ සිරස්ව ඉහල පහල කරන්නට පුළුවන්. ඒ කියන්නේ කළු ලෑල්ල වගේ සීමිත ඉඩක් නැහැ.
  • Zoom In සහ Zoom Out කරන්නට පුළුවන්.
  • Language Mode මගින් අපි කතාකරන භාෂාවත් හඳුනාගන්නටත් පුළුවන්.
  • Mathematical Mode මගින් කවකටුව, කෝණමානය වැනි උපකරණවලින් ඇත්තටම ජ්‍යාමිතිය වැනි පාඩම් උගන්වන්නටත් පුළුවන්.
  • Scientific Mode මගින් ආවර්තිතා වගුව වැනි පාඩම් උගන්වන්නටත් පුළුවන්
  • Physics Mode මගින් පරිපථ නිර්මාණය කරන්නටත් පුළුවන්
  • Standard Mode මගින් දුරස්ථව ඉගෙනීම් කරන්නටත් පුළුවන්
මම ඉස්සෙල්ලා සඳහන් කලා මේ සඳහා වේගවත් පරිගණකයක් අවශ්‍යයි කියලා. ඔවුන් පැවසූ විදියට M වර්ගයේ මධ්‍යම සැකසුම් ඒකකයක් අවශ්‍යයි. ඒකට හේතුව අපිට වැදගත්වන තවත් මෘදුකාංගයක් වන BlueStacks Player ධාවනය කිරීමට එවැනි වේගවත් මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU) අවශ්‍යවන නිසා.

https://www.bluestacks.com/

මෙහි ඇති වැදගත්කම වෙන කිසිවක් නොවෙයි, අපේ ජංගම දුරකතන වල භාවිතා කරන Android ඇප්ස් Windows පරිගණකයක් හරහා ධාවනය කිරීමයි. ඉතින් Windows මත Android ධාවනය කිරීමට සිදුවන නිසා පරිගණකයේ වේගය අවශ්‍යයි. නැත්නම් පරිගණකය හිර වීමක් සිදුවෙනවා.

අපි හැමදාම අහන දකින Android Apps වලට වඩා කෙතරම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට වටිනා කියන Apps තියෙනවා ද කියලා මම දැනගත්තේ මේ වැඩසටහනින්.

උදාහරණ වශයෙන්,
  • ත්‍රිකෝණමිතිය සිංහලෙන්
  • ලෝවැඩ සඟරාව (මෙය ස්වාමීන්වහන්සේ නමක් විසින් නිර්මාණය කරන ලද App එකක්)
  • සිරිත් මල්දම
  • ව්‍යවහාරික ගණිතය සඳහා Apps
  • Sinhala Letters
  • Sinhala Poets
  • Physics Short Notes
  • Four Stroke Otto Engine
  • කාබනික රසායනය
ජීව විද්‍යාව සඳහා
  • Muscle Skeletor
  • 3D Borns & Organs
  • Bacteria
ඉතින් මේවායේ තියෙන වාසිය අපිට හැමතිස්සේ ම අන්තර්ජාලයට යන්නම ඕන නැහැ ඉගෙනුම් ආධාරක ලබාගන්න. එක්වරක් පමණක් බාගත කිරීමෙන් අනතුරුව පරිගණකයේ BlueStacks Player හි install කිරීම පමණයි අවශ්‍ය වන්නේ. 90% ක්ම Apps සඳහා අන්තර්ජාලය නොමැතිවම ක්‍රියාකරවන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ නොමිලයේ ම මේවා ලබාගැනීමයි.

E - Board සඳහා මී ළඟ වැදගත් ම මෘදුකාංගය තමයි, E - Class Manager. මේක අපිට ගොඩක් ම වැදගත් වෙන්නේ, මී ලඟ වර්ෂයේ සිට පාසල් ළමුන්ට Tab පරිගණක ලබා දෙන්නට යන නිසා.

E - Class Manager මෘදුකාංගය මගින් Tab Class එකක් එනම් Tab පන්ති කාමරයක ළමුන් 35ක ගේ Tab එකවර පරිගණකයත් එක්ක සම්බන්ධ කරන්නට පුළුවන්. එසේම ගුරුවරයාට තම පරිගණකයෙන්, ළමයා පාඩමට සම්බන්ධවෙලා ද ඉන්නේ එහෙමත් නැත්නම් වෙනත් කාර්යයක නිරත වෙනවාද කියන එක බොහෝම පහසුවෙන් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. බැරිවෙලාවත් එහෙම ළමයෙක් ඉන්නවා නම් Lock කිරීමේ හැකියාවත් මේ මෘදුකාංගයට තියෙනවා.

ඔන්න ඔහොමයි මම E - Board එක ගැන අවබෝධ කරගත්තේ. මගේ සිහිනය පළමුව මගේ පාසලේ සුහුරු පන්ති කාමරයකට මෙවැන්නක් ලබා ගැනීමයි.



කෙසේ හෝ මම එම අරමුණ කරා යනවා.

Wednesday, November 22, 2017

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ දෙවන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ දෙවන පුහුණු වැඩසටහන 2017 නොවැම්බර් 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.

ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.




මෙදින ඔවුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අළුත් දේවල් ඉගෙනගත් බවට මා වෙත වාර්තා කලා.

ඔවුන් එදින පළමුව ඉගෙන ගෙන තිබුණේ sway නම් App එකක් ගැනයි. එමගින් අපට අන්තර්ජාලය හරහා අපගේ පාඩම් ඉතාමත් ආකර්ෂණීය ලෙස සමර්පණයක් එහෙම නැත්නම් Presentation එකක් ලෙස සැදිය හැකි බව ඔවුන් පැවසුවා.

මෙහි විශේෂත්වය නම්, PowerPoint Presentation එකට වඩා ආකර්ෂණීය StoryLine එකක් ලෙස එය දැක්විය හැකිවීමයි. PowerPoint වගේම animation, sound, video වලට අමතරව සිතියම් ආදිය ද ඇතුළත් කල හැකිවීමයි.

අපගේ ගුරු තානාපතිවරු ද එමගින් යම් උත්සාහයක් දරා තිබුණා.




මීළඟට Office Mix ගැන ඉගෙනගත් බව ඔවුන් සඳහන් කලා. https://mix.office.com/en-us/Home ඒ සඳහා Office 2013 Service Pack 1 හෝ Office 2016 තිබිය යුතු බව ඔවුන් මට පැවසුවා.

මෙය PowerPoint සඳහා ඇතුළත් කල හැකි Add-On එකක් ලෙසයි මම වටහා ගත්තේ. එමගින් ගුරු භවතුන්ට, තමන්ගේ පාඩම් වීඩියෝ ලෙස ඉදිරිපත් කිරීමේ දී තමන්ගේ වීඩියෝ එකක් සහ පැහැදිලි කිරීම්, WebCam සහ මයික්‍රෝෆෝනය භාවිතා කරමින් කල හැකි බව මට නිරීක්ෂණය වුණා. ඒක හරියට අපි White Board එකක ලියනවා වගේ ලියන්නත් පුළුවන් කියලා මට තේරුණා.



එසේම අප විසින් එසේ සකස් කරගත් වීඩියෝ පල කිරීම සඳහා YouTube අප කවුරුත් දන්නා ජනප්‍රිය වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නා ආකාරය ද ඔවුන් ඉගෙනගෙන තිබුණා. ඒ හරහා අපේ ශ්‍රී ලාංකික ජනප්‍රිය යූ ටියුබ් නාලිකා ගැන ද ඔවුන් දැනුවත් වූ බව මට දැනගන්නට ලැබුණා.



අපි හැමෝම අතරේ දැන් ජනප්‍රිය වෙලා තියෙන, දරුවන්ගේ අධ්‍යාපනයට ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන් විශ්වකෝෂයක් වන විකිපීඩියා Wikipedia හි අපේ ලිපි පල කරන හැටිත් මේ පුහුණු සැසියේ දී සඳහන් කරලා තිබුණා.

එතකොට ගුරුභවතුන්ට වැදගත් තවත් Apps වර්ග ගැනත් කියා දී තිබුණා.


Monday, November 20, 2017

පළමුවන ගුරුකව රැස්වීම

අපේ පාසල සුහුරු පාසලක් බවට පත් කරන්නට අපි සුහුරු ගුරු කව 3 ක් පිහිටුවා ගත්තා කියලා මම මීට පෙර බ්ලොග් පෝස්ට් එකෙන් සඳහන් කලා.

ඒ අනුව පරිගණක සාක්ෂරතාව, මේ ව්‍යාපෘතිය ගැන දක්වන උනන්දුව හැටියට අපිට ලේසියෙන් ම පුහුණු කරන්නට පුළුවන් ගුරු භවතුන් 30 ක් තමා අපි තෝරාගත්තේ.

ඔවුන් සඳහා පළමු දැනුවත් කිරීමේ වැඩසටහන 2017 නොවැම්බර් 17 වන දා අපේ පාසලේ පරිගණක අංශයේ දී පැවැත්වූවා. අපගේ සුහුරු පාසල් තානාපතිවරියක් වන පසන් හෙට්ටිආරච්චි මෙය විසින් එය මෙහෙයවූවා.











මාධව විජේසේකර මයා විසින් education.mircosoft.com වෙබ් අඩවිය ගැන සහ එහි ඇති ක්‍රියාකරකම්, සහතික සහ බැජ් ගැන පැහැදිලි කරමින්.



අපගේ දෙමළ සහ මුස්ලිම් ගුරු භවතුන් වෙනුවෙන් එස්. කුමරගුරු මයා දෙමළ භාෂාවෙන් මේ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කරමින්.


සුහුරු ගුරුවරු බිහිකිරීම සඳහා ගුරු කව පිහිටුවීම

මම කලින් පල කරපු බ්ලොග් පෝස්ට් එකේ තිබුණා අපේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු පළමු පුහුණු සැසියට සහභාගී වීම ගැන. 2017 නොවැම්බර් 14 වන දා ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින් මෙහෙය වූ එම පුහුණු සැසියට සහභාගී වීම මගින් බොහෝ දේවල් ඉගෙනගත්තා කියලා මට දැනගන්න ලැබුණා.

ඒ නිසා ම ඊට පහුවදා ම එනම් 2017 නොවැම්බර් 15 වන දා ඉතාම ඉක්මනින් ම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාම කැඳවා රැස්වීමක් පැවැත්වූවා.

එහිදී මවිසින්, අපේ ගුරු තානාපතිවරුන්ට තමන් ලද අත්දැකීම් විස්තර කර දෙන්නට අවස්ථාවක් ලබා දුන්නා. එම අවස්ථාවේ ඡායාරූප.






මෙහි දී අපට තිබුණු ඊළඟ අභියෝගය තමයි ගුරු කව පිහිටුවීම. ඒ සඳහා අපේ තානාපතිවරු සහ විජිනි සුගන්ධි පතිරාජ මහත්මිය එක්ව ප්‍රශ්නාවලියක් සකසා තිබුණා. එමගින් අපි බලාපොරොත්තු වුණේ අපේ ගුරු භවතුන්ගේ පරිගණක සාක්ෂරතාව ගැනත් මේ ව්‍යාපෘතිය ගැන ඔවුන් දක්වන උනන්දුව ගැන විමසා බැලීමයි.

එම ප්‍රශ්නාවලියට එම රැස්වීම වෙලාවේ දී ම පිළිතුරු සපයා ඔවුන් ලබා දුන්නා.



ඉන් පසුව එම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා ඇති ආකාරය අනුව, පලවෙනි අදියරේ එක් තානාපතිවරයෙකුට 10 දෙනෙක් බැගින් ඔවුන් විසින් ම ගුරු භවතුන් 30 දෙනෙක් තෝරා පත් කරගත්තා. මෙහි දී පරිගණක සාක්ෂරතාව සාපේක්ෂව අඩු එනමුත් මේ වැඩපිළිවෙලට ඉතා ම කැමැත්තෙන් ඉන්න ගුරු භවතුන්වත් තෝරාගන්න අපේ තානාපතිවරු අමතක කලේ නැහැ.


ඉතින් මෙහෙම පිහිටුවා ගත් අපේ ගුරුකව තුනට පලවෙනි ම වතාවට වෙන ම රැස්වීමක් කැඳෙව්වා. ඒ ගැන තොරතුරු ඉදිරි බ්ලොග් පෝස්ට් එකෙන් බලන්න පුළුවන්.