Thursday, November 30, 2017

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ තුන්වන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ තුන්වන පුහුණු වැඩසටහන 2017 නොවැම්බර් 29 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.

ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.

එහිදී ඔවුන් විසින්, Office 365 හි විවිධ අංග ගැන දැනුමක් ලබා තිබුණා. එමගින් අන්තර්ජාලය හරහා ඔෆිස් පැකේජයෙන් අපේ කාර්යයන් කරගන්නා ආකාරය, මීට අමතරව Forms, OneDrive, Outlook සහ OneNote ගැනත් අත්දැකීමක් ලබා තිබුණා.





සුහුරු ගුරුවරුන් බිහිකිරීමේ පුහුණු සැසිය - අංක 1

අපේ පාසල සුහුරු පාසලක් කිරීමේ වැඩසටහනේ පියවරක් ඉදිරියට තබමින් 2017 නොවැම්බර් 28 වන දින පාසල් වේලාවෙන් පසුව අපේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පුහුණු සැසියකට සහභාගී වූ අයුරු.

එහිදී ඔවුන් විසින් තමන්ගේ Microsoft ගිණුම් සාදාගත් අතර සිංහලෙන් යතුරු ලියනය කරන ආකාරය ගැන ද පුහුණුවක් ලබාගන්නා ලදී.

පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ, අප පාසලේ සුහුරු ගුරු තානාපතිවරුන් වන පසන් හෙට්ටිආරච්චි, එස්. කුමරගුරු සහ මාධව විජේසේකර මහත්ම මහත්මීන් විසිනි.






E - Board පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අපේ සුහුරු පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අපට තවත් වැදගත් උපකරණයක් තමයි විද්‍යුත් පුවරුව, එහෙම නැත්නම් අපි දන්නා කියන විදියට E-Board එක.

ඉතින් මේ ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 නොවැම්බර් 24 වන දා බප/කැල/ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ සඳහා සාන්ත ආනා බාලිකාවේ විදුහල්පතිනිය හැටියට මමත් අපේ පාසලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ගුරුභවතා වන මාධව විජේසේකර මහතාත් සහභාගී වුණා.

එහි දී MAT International Trading Co (PVT) Ltd ආයතනයෙන් E-Board පිළිබඳව මනා ව පැහැදිලි කලා.


මේ සඳහා E - Class නමැති මෘදුකාංගය ද අවශ්‍ය බව පැහැදිලි කලා. එසේම පන්ති කාමරය තුළ වන පරිගණකය ඉතාම හොඳ මට්ටමේ වේගවත් විය යුතු බවත් පවසා සිටියා.

මම අවබෝධ කරගත්ත විදියට E - Board එකේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයන් තියෙනවා.

  • අතේ ඇඟිලි 10 ම භාවිතා කර ස්පර්ශක තිරය හසුරවන්නට පුළුවන්.
  • මකනය සඳහා අත ම භාවිතා කරන්නට පුළුවන්.
  • ආලෝක පෑන භාවිතා කරන්නටත් පුළුවන්.
  • නැවත කියලා දෙන්නට ඕනෑ නම් Replay කරලා පෙන්වන්නට පුළුවන්. අමුතුවෙන් මකලා අඳින්නට ඕන නැහැ.
  • ගුරුවරයෙක් කියා දුන් දේ, Save කරලා තියා ගන්නට පුළුවන්. එතකොට පාසල් නොපැමිණි ළමයෙකුට වුවත් පහුවදා Replay කරන්නට පුළුවන්. වසර ගණනාවක් වුණත් පරිගණක මතකයේ පවත්වන්නට පුළුවන්.
  • Board එකේ කැන්වසය අනන්තය දක්වා තිරස්ව සහ සිරස්ව ඉහල පහල කරන්නට පුළුවන්. ඒ කියන්නේ කළු ලෑල්ල වගේ සීමිත ඉඩක් නැහැ.
  • Zoom In සහ Zoom Out කරන්නට පුළුවන්.
  • Language Mode මගින් අපි කතාකරන භාෂාවත් හඳුනාගන්නටත් පුළුවන්.
  • Mathematical Mode මගින් කවකටුව, කෝණමානය වැනි උපකරණවලින් ඇත්තටම ජ්‍යාමිතිය වැනි පාඩම් උගන්වන්නටත් පුළුවන්.
  • Scientific Mode මගින් ආවර්තිතා වගුව වැනි පාඩම් උගන්වන්නටත් පුළුවන්
  • Physics Mode මගින් පරිපථ නිර්මාණය කරන්නටත් පුළුවන්
  • Standard Mode මගින් දුරස්ථව ඉගෙනීම් කරන්නටත් පුළුවන්
මම ඉස්සෙල්ලා සඳහන් කලා මේ සඳහා වේගවත් පරිගණකයක් අවශ්‍යයි කියලා. ඔවුන් පැවසූ විදියට M වර්ගයේ මධ්‍යම සැකසුම් ඒකකයක් අවශ්‍යයි. ඒකට හේතුව අපිට වැදගත්වන තවත් මෘදුකාංගයක් වන BlueStacks Player ධාවනය කිරීමට එවැනි වේගවත් මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU) අවශ්‍යවන නිසා.

https://www.bluestacks.com/

මෙහි ඇති වැදගත්කම වෙන කිසිවක් නොවෙයි, අපේ ජංගම දුරකතන වල භාවිතා කරන Android ඇප්ස් Windows පරිගණකයක් හරහා ධාවනය කිරීමයි. ඉතින් Windows මත Android ධාවනය කිරීමට සිදුවන නිසා පරිගණකයේ වේගය අවශ්‍යයි. නැත්නම් පරිගණකය හිර වීමක් සිදුවෙනවා.

අපි හැමදාම අහන දකින Android Apps වලට වඩා කෙතරම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට වටිනා කියන Apps තියෙනවා ද කියලා මම දැනගත්තේ මේ වැඩසටහනින්.

උදාහරණ වශයෙන්,
  • ත්‍රිකෝණමිතිය සිංහලෙන්
  • ලෝවැඩ සඟරාව (මෙය ස්වාමීන්වහන්සේ නමක් විසින් නිර්මාණය කරන ලද App එකක්)
  • සිරිත් මල්දම
  • ව්‍යවහාරික ගණිතය සඳහා Apps
  • Sinhala Letters
  • Sinhala Poets
  • Physics Short Notes
  • Four Stroke Otto Engine
  • කාබනික රසායනය
ජීව විද්‍යාව සඳහා
  • Muscle Skeletor
  • 3D Borns & Organs
  • Bacteria
ඉතින් මේවායේ තියෙන වාසිය අපිට හැමතිස්සේ ම අන්තර්ජාලයට යන්නම ඕන නැහැ ඉගෙනුම් ආධාරක ලබාගන්න. එක්වරක් පමණක් බාගත කිරීමෙන් අනතුරුව පරිගණකයේ BlueStacks Player හි install කිරීම පමණයි අවශ්‍ය වන්නේ. 90% ක්ම Apps සඳහා අන්තර්ජාලය නොමැතිවම ක්‍රියාකරවන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ නොමිලයේ ම මේවා ලබාගැනීමයි.

E - Board සඳහා මී ළඟ වැදගත් ම මෘදුකාංගය තමයි, E - Class Manager. මේක අපිට ගොඩක් ම වැදගත් වෙන්නේ, මී ලඟ වර්ෂයේ සිට පාසල් ළමුන්ට Tab පරිගණක ලබා දෙන්නට යන නිසා.

E - Class Manager මෘදුකාංගය මගින් Tab Class එකක් එනම් Tab පන්ති කාමරයක ළමුන් 35ක ගේ Tab එකවර පරිගණකයත් එක්ක සම්බන්ධ කරන්නට පුළුවන්. එසේම ගුරුවරයාට තම පරිගණකයෙන්, ළමයා පාඩමට සම්බන්ධවෙලා ද ඉන්නේ එහෙමත් නැත්නම් වෙනත් කාර්යයක නිරත වෙනවාද කියන එක බොහෝම පහසුවෙන් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. බැරිවෙලාවත් එහෙම ළමයෙක් ඉන්නවා නම් Lock කිරීමේ හැකියාවත් මේ මෘදුකාංගයට තියෙනවා.

ඔන්න ඔහොමයි මම E - Board එක ගැන අවබෝධ කරගත්තේ. මගේ සිහිනය පළමුව මගේ පාසලේ සුහුරු පන්ති කාමරයකට මෙවැන්නක් ලබා ගැනීමයි.



කෙසේ හෝ මම එම අරමුණ කරා යනවා.

Wednesday, November 22, 2017

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ දෙවන පුහුණු සැසිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ දෙවන පුහුණු වැඩසටහන 2017 නොවැම්බර් 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.

ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.




මෙදින ඔවුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අළුත් දේවල් ඉගෙනගත් බවට මා වෙත වාර්තා කලා.

ඔවුන් එදින පළමුව ඉගෙන ගෙන තිබුණේ sway නම් App එකක් ගැනයි. එමගින් අපට අන්තර්ජාලය හරහා අපගේ පාඩම් ඉතාමත් ආකර්ෂණීය ලෙස සමර්පණයක් එහෙම නැත්නම් Presentation එකක් ලෙස සැදිය හැකි බව ඔවුන් පැවසුවා.

මෙහි විශේෂත්වය නම්, PowerPoint Presentation එකට වඩා ආකර්ෂණීය StoryLine එකක් ලෙස එය දැක්විය හැකිවීමයි. PowerPoint වගේම animation, sound, video වලට අමතරව සිතියම් ආදිය ද ඇතුළත් කල හැකිවීමයි.

අපගේ ගුරු තානාපතිවරු ද එමගින් යම් උත්සාහයක් දරා තිබුණා.




මීළඟට Office Mix ගැන ඉගෙනගත් බව ඔවුන් සඳහන් කලා. https://mix.office.com/en-us/Home ඒ සඳහා Office 2013 Service Pack 1 හෝ Office 2016 තිබිය යුතු බව ඔවුන් මට පැවසුවා.

මෙය PowerPoint සඳහා ඇතුළත් කල හැකි Add-On එකක් ලෙසයි මම වටහා ගත්තේ. එමගින් ගුරු භවතුන්ට, තමන්ගේ පාඩම් වීඩියෝ ලෙස ඉදිරිපත් කිරීමේ දී තමන්ගේ වීඩියෝ එකක් සහ පැහැදිලි කිරීම්, WebCam සහ මයික්‍රෝෆෝනය භාවිතා කරමින් කල හැකි බව මට නිරීක්ෂණය වුණා. ඒක හරියට අපි White Board එකක ලියනවා වගේ ලියන්නත් පුළුවන් කියලා මට තේරුණා.



එසේම අප විසින් එසේ සකස් කරගත් වීඩියෝ පල කිරීම සඳහා YouTube අප කවුරුත් දන්නා ජනප්‍රිය වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නා ආකාරය ද ඔවුන් ඉගෙනගෙන තිබුණා. ඒ හරහා අපේ ශ්‍රී ලාංකික ජනප්‍රිය යූ ටියුබ් නාලිකා ගැන ද ඔවුන් දැනුවත් වූ බව මට දැනගන්නට ලැබුණා.



අපි හැමෝම අතරේ දැන් ජනප්‍රිය වෙලා තියෙන, දරුවන්ගේ අධ්‍යාපනයට ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන් විශ්වකෝෂයක් වන විකිපීඩියා Wikipedia හි අපේ ලිපි පල කරන හැටිත් මේ පුහුණු සැසියේ දී සඳහන් කරලා තිබුණා.

එතකොට ගුරුභවතුන්ට වැදගත් තවත් Apps වර්ග ගැනත් කියා දී තිබුණා.


Monday, November 20, 2017

පළමුවන ගුරුකව රැස්වීම

අපේ පාසල සුහුරු පාසලක් බවට පත් කරන්නට අපි සුහුරු ගුරු කව 3 ක් පිහිටුවා ගත්තා කියලා මම මීට පෙර බ්ලොග් පෝස්ට් එකෙන් සඳහන් කලා.

ඒ අනුව පරිගණක සාක්ෂරතාව, මේ ව්‍යාපෘතිය ගැන දක්වන උනන්දුව හැටියට අපිට ලේසියෙන් ම පුහුණු කරන්නට පුළුවන් ගුරු භවතුන් 30 ක් තමා අපි තෝරාගත්තේ.

ඔවුන් සඳහා පළමු දැනුවත් කිරීමේ වැඩසටහන 2017 නොවැම්බර් 17 වන දා අපේ පාසලේ පරිගණක අංශයේ දී පැවැත්වූවා. අපගේ සුහුරු පාසල් තානාපතිවරියක් වන පසන් හෙට්ටිආරච්චි මෙය විසින් එය මෙහෙයවූවා.











මාධව විජේසේකර මයා විසින් education.mircosoft.com වෙබ් අඩවිය ගැන සහ එහි ඇති ක්‍රියාකරකම්, සහතික සහ බැජ් ගැන පැහැදිලි කරමින්.



අපගේ දෙමළ සහ මුස්ලිම් ගුරු භවතුන් වෙනුවෙන් එස්. කුමරගුරු මයා දෙමළ භාෂාවෙන් මේ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කරමින්.


සුහුරු ගුරුවරු බිහිකිරීම සඳහා ගුරු කව පිහිටුවීම

මම කලින් පල කරපු බ්ලොග් පෝස්ට් එකේ තිබුණා අපේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු පළමු පුහුණු සැසියට සහභාගී වීම ගැන. 2017 නොවැම්බර් 14 වන දා ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින් මෙහෙය වූ එම පුහුණු සැසියට සහභාගී වීම මගින් බොහෝ දේවල් ඉගෙනගත්තා කියලා මට දැනගන්න ලැබුණා.

ඒ නිසා ම ඊට පහුවදා ම එනම් 2017 නොවැම්බර් 15 වන දා ඉතාම ඉක්මනින් ම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාම කැඳවා රැස්වීමක් පැවැත්වූවා.

එහිදී මවිසින්, අපේ ගුරු තානාපතිවරුන්ට තමන් ලද අත්දැකීම් විස්තර කර දෙන්නට අවස්ථාවක් ලබා දුන්නා. එම අවස්ථාවේ ඡායාරූප.






මෙහි දී අපට තිබුණු ඊළඟ අභියෝගය තමයි ගුරු කව පිහිටුවීම. ඒ සඳහා අපේ තානාපතිවරු සහ විජිනි සුගන්ධි පතිරාජ මහත්මිය එක්ව ප්‍රශ්නාවලියක් සකසා තිබුණා. එමගින් අපි බලාපොරොත්තු වුණේ අපේ ගුරු භවතුන්ගේ පරිගණක සාක්ෂරතාව ගැනත් මේ ව්‍යාපෘතිය ගැන ඔවුන් දක්වන උනන්දුව ගැන විමසා බැලීමයි.

එම ප්‍රශ්නාවලියට එම රැස්වීම වෙලාවේ දී ම පිළිතුරු සපයා ඔවුන් ලබා දුන්නා.



ඉන් පසුව එම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා ඇති ආකාරය අනුව, පලවෙනි අදියරේ එක් තානාපතිවරයෙකුට 10 දෙනෙක් බැගින් ඔවුන් විසින් ම ගුරු භවතුන් 30 දෙනෙක් තෝරා පත් කරගත්තා. මෙහි දී පරිගණක සාක්ෂරතාව සාපේක්ෂව අඩු එනමුත් මේ වැඩපිළිවෙලට ඉතා ම කැමැත්තෙන් ඉන්න ගුරු භවතුන්වත් තෝරාගන්න අපේ තානාපතිවරු අමතක කලේ නැහැ.


ඉතින් මෙහෙම පිහිටුවා ගත් අපේ ගුරුකව තුනට පලවෙනි ම වතාවට වෙන ම රැස්වීමක් කැඳෙව්වා. ඒ ගැන තොරතුරු ඉදිරි බ්ලොග් පෝස්ට් එකෙන් බලන්න පුළුවන්.

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ පළමු පුහුණු සැසිය

මම විදුහල්පති ධූරය දරන සාන්ත ආනා බාලිකාව සුහුරු පාසලක් බවට පත්කිරීම මගේ එක්තරා හීනයක්. වර්ෂ 2020 දී අපගේ පාසලට වසර සියයක් සපිරෙනවා. ඉතින් එම සියවස් ජුබිලිය සැමරීමට අපි දැන් සිටම පෙළ ගැසෙනවා. එම වැඩසටහනේ එක් අංගයක් ලෙස අපගේ පාසල සුහුරු පාසලක් බවට පත් කරන්නට අපි අදහස් කරගෙන ඉන්නේ.

ඉතින් එහි පළමු පියවර ලෙස එදා ඒ සම්බන්ධයෙන් පැවති විදුහල්පති රැස්වීමට මම සහභාගී වුණා. විශේෂයෙන් ම මගේ සිත් ගත් අංගයක් තමයි E-Board එක. ඒ කියන්නේ විද්‍යුත් පුවරුව කියන එක. මගේ පාසලට එවැන්නක් කොහොමහරි ලබා ගන්න මම උත්සාහ කරනවා. එමගින් අපේ පාසලේ දැරියන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එය මහත් රුකුලක් වේ යැයි මම හිතනවා.

ඉතින් මේ විදියට සුහුරු පාසලක් බවට පත් කරන්නට දරන මේ වෑයමේ ඊළඟ පියවර ලෙස මම අපේ පාසලේ Smart School Teacher Ambassador එසේත් නැත්නම් සුහුරු පාසල් ගුරු තානාපතිවරු තිදෙනෙක් පත් කලා.

  1. පසන් හෙට්ටිආරච්චි මෙය
  2. සුප්පයියාහ් කුමරගුරු මයා
  3. මාධව විජේසේකර මයා

මින් පසන් හෙට්ටිආරච්චි මෙය අපගේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඇය බොහෝ දුරට තමන්ගේ ඉංග්‍රීසි පාඩම් සඳහා පරිගණක තාක්ෂණය යොදා ගන්නා කෙනෙක්. විශේෂයෙන් ම YouTube ආධාරයෙන්. මාව මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උනන්දු කලේ ඇයයි.

සුප්පයියාහ් කුමරගුරු මයා අපේ පාසලේ දෙමළ මාධ්‍යයෙන් විද්‍යාව විෂයය උගන්වන ගුරුවරයෙක්. වත්තල සාන්ත ආනා බාලිකාව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ භාෂා මාධ්‍ය තුනෙන්ම උගන්වන එකම බාලිකා පාසලයි. අපේ පාසලේ දෙමළ ප්‍රජාව නියෝජනය වෙන්නත් ජාතික ආගමික සහජීවනය තවත් ඔප් නැංවීම සඳහා ත් මම ඔහුවත් තානාපතිවරයෙක් ලෙස පත්කලා.

මාධව විජේසේකර මයා යනු අපේ පාසලට අළුතින් ම පත්ව ආ තොරතුරු තාක්ෂණ ගුරුවරයායි. මේ ව්‍යාපෘතිය අපේ පාසලේ ස්ථාපනය කිරීමට නම් තොරතුරු තාක්ෂණ ගුරු භවතාගේ සහාය අත්‍යවශ්‍යයි. ඔහු සතු දැනුම අපේ මේ උත්සාහයට ගොඩක් ප්‍රයෝජනවත් නිසාම මම ඔහුවත් තානාපතිවරයෙක් ලෙසට පත් කලා.

මීට අමතරව තවත් විශේෂ කෙනෙක් ව මතක් කරන්නම ඕන. ඒ අපේ පාසලේ වසර 12ක්ම තොරතුරු තාක්ෂණ ගුරුවරියක් ලෙස සේවය කරන විජිනි සුගන්ධි පතිරාජ මිය. ඇය තමා අපේ පාසලේ මේ ව්‍යාපෘතියට මූලික අඩිතාලම දැමුවේ. පරිගණක අංශය ස්ථාපිත කරපු දා ඉඳන්ම ඉතා විශිෂ්ඨ අංශයක් ලෙස පවත්වා ගෙන ආවේ. එමනිසා මේ ව්‍යාපෘතිය පිටුපස ඇයත් විශේෂ කාර්යභාරයක් කරන බව සඳහන් කිරීම මගේ යුතුකමක්.

මේ තිදෙනා ම 2017 නොවැම්බර් 14 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය (University of Colombo School of Computing) හි පවත්වන ලද පුහුණු සැසි අංක 1 ට සහභාගී වූවා.





ඔවුන් තිදෙනා එම පුහුණු සැසියට සහභාගී වීමෙන් ලබාගත් එම අත්දැකීම අපගේ පාසලේ අනෙක් ගුරුවරු වෙත බෙදා දීම සඳහා මා විසින් ඊට පසු දින එනම් 2017 නොවැම්බර් 15 වන දා ආචාර්ය මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඔවුන්ට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නා. ඒ ගැන මම පලකරන ඊළඟ බ්ලොග් පෝස්ට් එකෙන් බලාගන්න පුළුවන්.

Friday, November 17, 2017

සාන්ත ආනා බාලිකාව සුහුරු පාසලක්!!!




ආයුබෝවන් ඔබ සැමට!!! මම වත්තල සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන කාන්ති බී. පෙරේරා සහෝදරතුමියයි. මගේ පාසල සුහුරු පාසලක්, එහෙම නැත්නම් Smart School එකක් බවට පරිවර්තනය කරන්න මමත් Nenasa Smart School ව්‍යාපෘතියට එක් වුණා. මම මේ බ්ලොග් අඩවිය ලියන්නෙත් ඒ ගැන ඔබට කියන්නයි.

වත්තල ප්‍රදේශයේ ඉතාම ශේෂ්ඨ ඉතිහාසයක් තිබෙන සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය, 2020 වසර වනවිට සියවස් ජුබිලි සැමරුමට සූදානමින් සිටියි. එම යුගය වන විට පාසලේ තිබෙන සියළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ නිරන්තර උත්සාහයක යෙදෙන මගේ එක සිහිනයක් තමයි, මේ පාසල සුහුරු පාසලක් කිරීම.

එහි එක් පියවරක් ලෙස දැනටත් මගේ පාසලේ පන්ති කාමර දෙකක් ම Smart Class එහෙම නැත්නම්, සුහුරු පන්ති කාමර ලෙස සකසා තිබේ.



මේ පන්ති කාමර තුළ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Projectors), පරිගණක යන්ත්‍ර ඇතුළු සියළු පහසුකම්වලින් ශිෂ්‍යාවන්ට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලි පහසුකිරීම කරගැනීමට අපට හැකිවී ඇත.