Monday, November 20, 2017

සුහුරු ගුරු තානාපතිවරුන්ගේ පළමු පුහුණු සැසිය

මම විදුහල්පති ධූරය දරන සාන්ත ආනා බාලිකාව සුහුරු පාසලක් බවට පත්කිරීම මගේ එක්තරා හීනයක්. වර්ෂ 2020 දී අපගේ පාසලට වසර සියයක් සපිරෙනවා. ඉතින් එම සියවස් ජුබිලිය සැමරීමට අපි දැන් සිටම පෙළ ගැසෙනවා. එම වැඩසටහනේ එක් අංගයක් ලෙස අපගේ පාසල සුහුරු පාසලක් බවට පත් කරන්නට අපි අදහස් කරගෙන ඉන්නේ.

ඉතින් එහි පළමු පියවර ලෙස එදා ඒ සම්බන්ධයෙන් පැවති විදුහල්පති රැස්වීමට මම සහභාගී වුණා. විශේෂයෙන් ම මගේ සිත් ගත් අංගයක් තමයි E-Board එක. ඒ කියන්නේ විද්‍යුත් පුවරුව කියන එක. මගේ පාසලට එවැන්නක් කොහොමහරි ලබා ගන්න මම උත්සාහ කරනවා. එමගින් අපේ පාසලේ දැරියන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එය මහත් රුකුලක් වේ යැයි මම හිතනවා.

ඉතින් මේ විදියට සුහුරු පාසලක් බවට පත් කරන්නට දරන මේ වෑයමේ ඊළඟ පියවර ලෙස මම අපේ පාසලේ Smart School Teacher Ambassador එසේත් නැත්නම් සුහුරු පාසල් ගුරු තානාපතිවරු තිදෙනෙක් පත් කලා.

  1. පසන් හෙට්ටිආරච්චි මෙය
  2. සුප්පයියාහ් කුමරගුරු මයා
  3. මාධව විජේසේකර මයා

මින් පසන් හෙට්ටිආරච්චි මෙය අපගේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඇය බොහෝ දුරට තමන්ගේ ඉංග්‍රීසි පාඩම් සඳහා පරිගණක තාක්ෂණය යොදා ගන්නා කෙනෙක්. විශේෂයෙන් ම YouTube ආධාරයෙන්. මාව මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උනන්දු කලේ ඇයයි.

සුප්පයියාහ් කුමරගුරු මයා අපේ පාසලේ දෙමළ මාධ්‍යයෙන් විද්‍යාව විෂයය උගන්වන ගුරුවරයෙක්. වත්තල සාන්ත ආනා බාලිකාව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ භාෂා මාධ්‍ය තුනෙන්ම උගන්වන එකම බාලිකා පාසලයි. අපේ පාසලේ දෙමළ ප්‍රජාව නියෝජනය වෙන්නත් ජාතික ආගමික සහජීවනය තවත් ඔප් නැංවීම සඳහා ත් මම ඔහුවත් තානාපතිවරයෙක් ලෙස පත්කලා.

මාධව විජේසේකර මයා යනු අපේ පාසලට අළුතින් ම පත්ව ආ තොරතුරු තාක්ෂණ ගුරුවරයායි. මේ ව්‍යාපෘතිය අපේ පාසලේ ස්ථාපනය කිරීමට නම් තොරතුරු තාක්ෂණ ගුරු භවතාගේ සහාය අත්‍යවශ්‍යයි. ඔහු සතු දැනුම අපේ මේ උත්සාහයට ගොඩක් ප්‍රයෝජනවත් නිසාම මම ඔහුවත් තානාපතිවරයෙක් ලෙසට පත් කලා.

මීට අමතරව තවත් විශේෂ කෙනෙක් ව මතක් කරන්නම ඕන. ඒ අපේ පාසලේ වසර 12ක්ම තොරතුරු තාක්ෂණ ගුරුවරියක් ලෙස සේවය කරන විජිනි සුගන්ධි පතිරාජ මිය. ඇය තමා අපේ පාසලේ මේ ව්‍යාපෘතියට මූලික අඩිතාලම දැමුවේ. පරිගණක අංශය ස්ථාපිත කරපු දා ඉඳන්ම ඉතා විශිෂ්ඨ අංශයක් ලෙස පවත්වා ගෙන ආවේ. එමනිසා මේ ව්‍යාපෘතිය පිටුපස ඇයත් විශේෂ කාර්යභාරයක් කරන බව සඳහන් කිරීම මගේ යුතුකමක්.

මේ තිදෙනා ම 2017 නොවැම්බර් 14 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය (University of Colombo School of Computing) හි පවත්වන ලද පුහුණු සැසි අංක 1 ට සහභාගී වූවා.





ඔවුන් තිදෙනා එම පුහුණු සැසියට සහභාගී වීමෙන් ලබාගත් එම අත්දැකීම අපගේ පාසලේ අනෙක් ගුරුවරු වෙත බෙදා දීම සඳහා මා විසින් ඊට පසු දින එනම් 2017 නොවැම්බර් 15 වන දා ආචාර්ය මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඔවුන්ට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නා. ඒ ගැන මම පලකරන ඊළඟ බ්ලොග් පෝස්ට් එකෙන් බලාගන්න පුළුවන්.

No comments:

Post a Comment