Saturday, May 19, 2018

Google I/O Extended 2018 හි සාන්ත ආනාවේ නියෝජනය

පාසලක් සුහුරු පාසලක් බවට පත්කරගෙන යන ගමනේ දී විටෙක ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාගැනීමත් හරි වැදගත්. මොකද පාසලකට එවැනි අත්දැකීමක් හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

අපෙන් ඉගෙන ගන්න දරුවන් අනාගත ලෝකයේ ජීවත්වෙන්නේ මොනවගේ ලෝකෙක ද? ඒ අයගේ අනාගත ජීවන රටාව මොනවගේ ද කියන එක තේරුම් ගන්න එක විදුහල්පතිවරියක් හැටියට මට හරි වැදගත්. ඊට අමතරව ගුරුභවතුන්ටත් ඒක දැනගෙන ඉන්න එක හරි වටිනවා.

ඒකට හේතුව, තාක්ෂණය දියුණුවෙන්න දියුණුවෙන්න ඒක හරි විදියට භාවිතා කරන හැටි ළමයි දැනගන්න ඕන. අපිටත් වගකීමක් තියෙනවා හරි අවබෝධයක් අරගෙන හරි විදියකට එවැනි ලෝකයකට ළමයින්ව යොමුකරන්න. එතකොට අනාගතයේ දී ඒ අයට බය නැතුව Smart Life එකක් ගත කරන්න පුළුවන්කම තියෙනවා.

ඉතින් මට මෙහෙම දෙයක් ගැන කියන්න ඕන වුණේ අපේ පාසලටත් ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ගන්න අවස්ථාවක් ලැබුණ නිසා. ඒ Google I/O Extended 2018 සමුළුව. පසුගිය මැයි 8, 9 දිනවල කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මූලස්ථානයේ දී මෙය පැවැත්වුණා.

Google I/O කියන්නේ, Google සමාගම විසින් වාර්ෂිකව තමන්ගේ නව සේවාවන් ගැන ලෝකයට ම දැනුවත් කරන සමුළුවක්. ඉතින් මේකට සමගාමී ව ලෝකය පුරාම හැම රටකම වගේ සමුළුවක් සංවිධානය කරනවා. ඉතින් දකුණු ආසියාවේ විශාලතම Google සමුළුව සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ.

මේ සඳහා නැණස Smart School ව්‍යාපෘතිය යටතේ පාසල්වල සුහුරු ගුරු තානාපතිවරු 7 කට සහභාගී වෙන්නට අවස්ථාව ලැබුණා. මට ඉතාමත් සතුටුයි මගේ පාසලේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතාටත් එම අවස්ථාව ලැබුණා.

ඒ අනුව ඔහු මෙම අවස්ථාවට සහභාගී වුණා. මට පසුදින දැනගන්නට ලැබුණේ අනාගත ලෝකයේ අපේ දරුවන් ජීවත් වෙන ජීවන රටාව කෙබඳු වේ දැයි මෙම සමුළුවෙන් ඔහු වටහා ගත් බවයි.

ඔහුගෙන් දැනගත් තවත් සුවිශේෂ කරුණක් කියන්න තියෙනවා. මේ සහභාගී වූ ගුරු භවතුන් Smart School ව්‍යාපෘතිය යටතේ විශේෂ දක්ෂතා දක්වපු අය. ඉතින් ඒ සියළු දෙනා ම මගේ පාසලේ මාධව විජේසේකර මහතාගෙන් අසා තිබුණු දේ, "ඔයාලා නේ ද අර Office 365 හරහා වාර විභාග ළකුණු ඇතුළත් කලේ? කොහොමද ඒක කලේ?" යන්නයි.

ඇත්තට ම ඒක එතරම් විශාල කර්තව්‍යයක් නොවුණත් අපි උත්සාහ කලා කෙසේ හෝ එය කරන්න. අවසානයේ අපේ ගුරුභවතුන් ඒ දේ කලා. එය විශාල ජයග්‍රහණයක්. සියළුම ගුරුභවතුන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාර. ඉතින් මේ නිසා මේ සමුළුවට පැමිණි ඒ විශිෂ්ට ගුරු භවතුන් අතරේ පවා අපි ගැන කතා බහට ලක්වී තිබීම, මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව, සාන්ත ආනාවේ සමස්ත ගුරුභවතුන්ගේ ම ජයග්‍රහණයක් බව මම කිව යුතුයි.

Office 365 හරහා වාර විභාග ළකුණු ඇතුළත් කල හැටි දැක්වෙන ලිපිය කියවන්න මෙතැනින්






විදුලි බල්බයක් එහෙම නැත්තන් Plug Point එකක් අපි මෙච්චර කල් ක්‍රියාකලේ ඒක ළඟට ගිහින්. නමුත් දැන් ජංගම දුරකතනයෙන් එහෙමත් නැත්තන් Smart Phone එකකින් එය පාලනය කල හැකි යුගය උදාවෙලා.

ඉතින් අපේ ගෙදර ජීවිතය ඉස්සරහට අපි හිතන්නත් කලින් කෘත්‍රිම බුද්ධිය හරහා අපේ පහසුවට යොදාගන්න නව ප්‍රවණතා කෙතරම් තියෙනවා ද කියන එක මේ සමුළුවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම පැහැදිලි කරනවාට වඩා මේ වීඩියෝ මගින් ඔබට තවත් දැනගත හැකියි කියා මම විශ්වාස කරනවා. 2018 වසරේ Google සමාගම විසින් හඳුන්වා දෙන්නට යන නවතම සේවාවන් මොනවා ද කියා මින් ඔබට අවබෝධ කරගත හැකියි.


මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවති Google I/O සමුළුවේ කෙටි සමාලෝචනයක් මෙතනින් දැක්වෙනවා.



1 comment:

  1. මෙහ් පොස්ට් එක දෑක්කම සතුටුයි සර්.හොද පොස්ට් එකක්. දිගටම මෙහ් වගේ පොස්ට් දාන්න සර්. :)

    ReplyDelete