Friday, June 14, 2019

ඉගෙනුම් ඉගැන්වීම් සහ ස්වයං ඇගයුම් ක්‍රියාවලිය සඳහා Microsoft Teams භාවිතය

පසුගිය ලිපියෙන් මම සඳහන් කලා සුහුරු පාසලේ අලුත් අත්හදා බැලීම් ලෙස Smart Textbook භාවිතා කරනවා කියලා. මෙම ලිපියෙන් එහි තවත් දිගුවක් ගෙන හැර දක්වන්නට මම කැමැතියි.

පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් නිසා බොහෝ පාසල්වලට මාසයක පමණ කාලයක් අධ්‍යයන කටයුතු සඳහා අහිමි වුණා. එවිට ඇතිවූ ගැටලුව තමයි දෙවන වාරය සඳහා අධ්‍යයන කටයුතු නියමිත විෂය නිර්දේශ ආවරණය කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා මම උත්සාහ කලා සිසුවියන්ට නිවසේ සිටම තම අධ්‍යයන කටයුතු සිදුකරන්නට ක්‍රමයක්.

මේ සඳහා විකල්පයක් හොයන විට මගේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා විසින් එක්තරා අත්හදා බැලීමක් කර තිබුණා. ඔහු අපේ පාසලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුභවතෙක්. ඔහුගේ 10 වසර සිසුවියන් සඳහා තමන්ට නියමිත කාලඡේදවල ඉගැන්වීම් කටයුතු කර ඇගයීම් සඳහා Microsoft Teams නම් App එක යොදාගෙන තිබුණා.



Smart School ව්‍යාපෘතිය යටතේ අප පාසලට Office 365 පහසුකම ලැබී තිබෙන බව මම මීට පෙර ලිපිවලින් ඔබට පවසා තිබෙනවා. මෙහි එන එක App එකක් ලෙස Microsoft Teams හඳුන්වා දෙන්න පුළුවන්.




එමගින් අප පාසලේ සිටින සිසුවියන්ට Office 365 ගිණුම් සාදා දුන් පසු ඔවුන්ට ද එම App එක දැකගත හැකිවෙනවා. අවශ්‍ය නම් Google Play Store හෝ Apple Store හරහා හෝ මෙය ජංගම දුරකතන, ටැබ් පරිගණකවල ඇතුළත් කරන්නට පුළුවන්.

මෙමගින් ගුරුභවතාට තමන්ගේ පන්තිවලට අදාල සිසුවියන් සඳහා Teams නිර්මාණය කරගත හැකියි. එය හරියට සමාජ ජාලාවල දක්නට ලැබෙන Group එකක් හා සමානයි. ගුරුභවතාට එම Teams වලට අදාල සිසුවියන් Add කර ඔවුන් සමග විෂයානුබද්ධ කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්. එසේම ඇගයීම් Online ක්‍රමයට ලබා දී සිසුවියන්ට ම තමා සැපයූ පිළිතුරු නිවැරදි ද යන්න පරීක්ෂා කර ගැනීමටත්, තමා ලබාගත් ලකුණු ප්‍රමාණය කොපමන ද යන්න දැනගැනීමටත් පුළුවන්.

මෙය උසස් පෙළ සිසුවියන්ට මුල සිටම පාඩම් මාලාවන් ලබා දීමට යොදාගත්තත් ඇගයීම් ලබා දීම මෙතෙක් කාලයක් සිදුවූ‍යේ නැහැ. එය කොතරම් සාර්ථක ද යන්න අත්හදා බැලීමක් මාධව විජේසේකර මහතා විසින් සිදුකර තිබුණා.

ඔහුගේ සාමාන්‍ය පෙල සිසුවියන් සඳහා සංඛ්‍යා පද්ධති (Number Systems) පාඩම උගන්වා අවසන් කල පසු ප්‍රශ්න පත්‍රය කට්ටල තුනක් ලබා දී තිබුණා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට දැනට තිබෙන වාතාවරණය හමුවේ කාලය නොමැති නිසා ත් එසේ කිරීමට කාලය වෙන්කල හොත් ඉදිරි පාඩම් සඳහා කාලය කලමනාකරණය කරගැනීමට අපහසුවන නිසාත් ඔහු ඒ සඳහා Microsoft Teams හරහා එම ප්‍රශ්න Quiz ලෙස නිර්මාණය කර සිසුවියන්ට share කර තිබුණා. 






යම් කිසි කාල සීමාවක් තුල තමා විසින් ලබාගත් පිළිතුරු එම ඇගයීමට online ආකාරයට යොමු කර ඒ මොහොතේම පිළිතුරු ලබාගැනීමට සිසුවියන්ට එමගින් හැකිවූ අතර තමා ලබාගත් ලකුණු ප්‍රමාණය එවේලේම ඔවුන්ට දැකගත හැකිවුණා. මෙය නැවුම් අත්දැකීමක් ලෙස සිසුවියන්ගෙන් දැනගන්නට ලැබුණා. එසේම දෙමාපියන්ගෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.









ඉතින් Smart School ව්‍යාපෘතිය යටතේ අප පාසලට ලැබුණ ඉගෙනුම් කලමනාකරණ පද්ධතිය (Learning Management System) හරහා දුරස්ථ අධ්‍යාපනය තවදුරටත් සිසුන්ට කල හැකි නිසා ඉදිරියේ දී ඒ සමග කටයුතු කරන්නට අපේ ගුරුභවතුන් දැන් ලැහැස්ති වෙනවා.

තමන් දන්න දේ අනුන්ට කියා දීමත්, තමන් නොදන්නා දේ අනුන්ගෙන් ඉගෙන ගැනීමත් මම හැමදාම අනුමත කරන දෙයක්. මේ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වුණු අනෙකුත් පාසල්වලිනුත් යම් යම් දේවල් ඉගෙනගෙන අපේ පාසලත් ඒ මට්ට්ම දක්වා රැගෙන එන්නට මම කටයුතු කරනවා. 

අලුත් සුහුරු ගුරු තානාපතිවරු, අලුත් අත්හදාබැලීම්

දින කිහිපයකට ඉස්සෙල්ලා මම ඔබට කිව්වා සුහුරු පාසල් ව්‍යාපෘතියට ඇතුළත් වුණාට පස්සේ සිදුවුණු වෙනස් කම් පිළිබඳව. පළමු වැන්න තමයි අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වර්ධනය වීම. දෙවැන්න තමයි අපිට 4 වන සුහුරු පන්ති කාමරයක් 1986 වසරේ ආදි ශිෂ්‍යාවන්ගෙන් ලැබීම.

මෙහෙම තත්ත්වයක් ආවාට පස්සේ මොනවා ද අපේ පාසලේ වෙන්නේ කියලා දැනගන්න ඔබ කැමැත්තෙන් ඇතැයි මම සිතනවා. ඔව්. ගුරුභවතුන්ගේ උනන්දුව තවත් වැඩිවෙලා කිව්වොත් ඉතා නිවැරදියි.

මම අලුතින් සුහුරු ගුරු තානාපතිවරු තිදෙනෙක් පත් කරන්නට තීරණය කලා අපේ හිටපු තානාපතිවරු තිදෙනාට අමතරව. දැනට අපේ පාසලේ ගුරුභවතුන් 90 ක් පමණ සිටින නිසාත් අපේ දැනට සිටින සුහුරු ගුරු තානාපති තිදෙනාට මේ ක්‍රියාවලිය තවත් පහසු කිරීමට ඒ සඳහා සකුන්තලා රත්නායක මහත්මිය, මානෙල් ප්‍රියන්ති මහත්මිය සහ ප්‍රශායිනි ත්‍යාගරාජා මහත්මිය මම නවතම සුහුරු ගුරු තානාපතිවරු ලෙස පත්කලා. එතකොට දැන් තානාපතිවරු 6ක්. ඒ අනුව එක් තානාපතිවරයෙකුට ගුරුභවතුන් 15 ක් අදාල වෙනවා.

සකුන්තලා රත්නායක මහත්මිය අපේ පාසලේ වසර 8 ක් කාලයක් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුතුමියක්. අපේ පරිගණක විද්‍යාගාරය සංවර්ධනය කරන්න ඉතා විශාල ලෙස කැපකිරීම් කල කෙනෙක්.



මානෙල් ප්‍රියන්ති මහත්මිය අපේ පාසලේ ඉතිහාසය විෂය උගන්වන ගුරුතුමියක්. ඇය E Board එක හෝ පරිගණක විද්‍යාගාරය භාවිතා කරමින් දරුවන්ට එම විෂය උගන්වන කෙනෙක්. ඒ නිසා මේ තනතුරට ඇයව පත්කලා.












ප්‍රශායිනි ත්‍යාගරාජා මහත්මිය අපේ පාසලට පැමිණි දෙමළ මාධ්‍ය ගුරුතුමියක්. ඇය ගණිතය විෂය සඳහා පත්වීමක් ලැබුවත්, දෙමළ මාධ්‍ය අංශයෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය ද උගන්වනවා. අපේ පාසල විවිධ ජනවර්ග, විවිධ ආගම් රැසක් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ භාෂා මාධ්‍ය තුනෙන්ම උගන්වන එකම බාලිකා පාසල බව ඔබට මතක ඇතැයි සිතනවා. ඒ නිසාම එයත් නියෝජනය වීම පිණිස කුමරගුරු මහතා සහ ත්‍යාගරාජා මහත්මියත් තානාපතිවරු බවට පත්කලා.

මේ ගුරුතුමියත් අන් අයට තමන් දන්න දේ කියලා දෙන්න කැමති කෙනෙක්. ඒ බව මොනවට ඔප්පු කරන්න මම මෙහෙම සඳහනක් කරන්න කැමැතියි. අපේ පාසලේ සිටින වැඩිහිටි ගුරුභවතුන් තමන්ට ඉඩ ලද මොහොතක පරිගණක විද්‍යාගාරයට ගිහින් තමන්ගේ පරිගණක දැනුම වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. එවැනි අවස්ථාවක ඇය උදව් කල මොහොතක් මේ.




ප්‍රශායිනි මහත්මිය පැමිණි පසු අපේ පාසලේ තවත් ඓතිහාසික දෙයක් සිද්ධවුණා. ඒ වසර සියයක සාන්ත ආනා ඉතිහාසයේ පළමුවරට දෙමළ මාධ්‍ය අංශයෙන් සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම ආරම්භ වීම. 2019 වසරේ 10 ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනෙක් හරහා අපි එය ආරම්භ කලා.





විද්‍යාව විෂය උගන්වන ගුරුභවතුන් 11 ශ්‍රේණිය සඳහා සුහුරු පෙළ පොත Smart Text Book භාවිතා කරන්න පටන් අරන්. පළමු වතාවට අපේ පාසලේ එවැන්නක් මගින් විද්‍යා පාඩමක් ඉගැන්වූ ගුරුවරයා හැටියට රෝහණ දිසානායක මහතා ඔබට හඳුන්වා දෙන්න මම කැමතියි. 

පරිගණක විද්‍යාගාරයේ පහසු වේලාවක් වෙන්කරවා ගෙන ඔහු තමන්ට අදාල පන්ති දෙකකට එක දවසේ ඉගැන්වීම් කටයුතු කර තිබුණා. ඔහුගේ ප්‍රතිචාරය අනුව 11 ශ්‍රේණියට නියමිත මානව දේහ ක්‍රියාවලි පාඩම ආයාසයකින් තොරව ඉගැන්වීම් කරන්නට ඔහුට හැකි වුණ බව මට දැනගන්නට ලැබුණා. ඒ අනුව අනෙකුත් විද්‍යා ගුරුභවතුන් ද මේ ක්‍රියාවලිය අනුගමනය කරන්නට පටන්ගෙන. ඉඩක් ලද මොහොතක පරිගණක විද්‍යාගාරය හෝ E Board එක භාවිතා කරමින් Smart Text Book එක භාවිතා කරන්නට ඔවුන් පෙළඹී සිටිනවා.



Friday, June 7, 2019

සාන්ත ආනාවට 4 වන සුහුරු පන්තිකාමරයත් ලැබුණු වගයි.

සියවස් ජුබිලියට පා තබන සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයට තවත් ආලෝකයක් එක් කරමින් 1986 වසරේ ආදි ශිෂ්‍යාවන්ගෙන් තවත් සුහුරු පන්ති කාමරයක් අප වෙත 2019-06-04 දින පරිත්‍යාග කරනු ලැබුවා. 

මීට පෙර 1983 කණ්ඩායමෙනුත්, පාසලේ ආදි සිසුවියන්ගේ සංගමයෙනුත්, කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහයෙනුත් අපට සුහුරු පන්ති කාමර ලැබුණ අතර මේ සමගම අප පාසලේ ඇති සුහුරු පන්ති කාමර ගණන 4 ක් දක්වා ඉහල නැංවුණා.

වසර සියයක් සපුරන ආනාවෙන් රටට දැයට වැඩදායක දියණිවරු බිහිකර ඇති බව පසක් කරමින් ඔවුන් විසින් තමා උගත් පාසලට කෘතගුණ සැලකූ ආකාරය ගැන මා විස්තර කරනවාට වඩා පහළින් ඇති වීඩියෝ එක නැරඹීමෙන් ඔබට වැටහෙනු ඇතැයි මම සිතනවා.


සුහුරු පාසල් ව්‍යාපෘතිය නිසා සා.පෙල ප්‍රතිඵල වල වෙනසක්

සුබ නව වසරක් වේවා!!! ඇත්තටම නව වසරේ අඩක් ගෙවිලා ගියත් මගේ blog එක කියවන සුහුරු පාසල් පාඨකයන්ට පළමු වරට 2019 දී පල කරන ලිපිය නිසා මම එහෙම සුබ පතන්නේ.

ඇත්තටම කාලෙකට පස්සේ මට ඔබත් එක්ක බොහෝම සතුටින් බෙදා ගත හැකි ප්‍රවෘත්තියක් තියෙනවා. 2018 වසරේ දී අපේ පාසලේ අ.පො.ස. සාමාන්‍ය පෙල ප්‍රතිඵල අතරින් 2017 වසරට සාපේක්ෂව බොහෝ ඉදිරියට ඇවිත් තියෙනවා කියලා කියන්නේ අප්‍රමාණ ප්‍රීතියකින්. අපි සුහුරු පාසල් ව්‍යාපෘතියට ඇතුළත් වුණාට පස්සේ නව අත්හදා බැලීම් එක්ක හැමදෙයක් ම උපරිම මහන්සියෙන් සිදුකලා. 

ඒ නිසා ම මගේ පාසල අයත් කැලණිය අධ්‍යාපන කලාපයේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට එන්න අපිට හැකිවුණා. ඊට පෙර වසරේ ප්‍රතිඵල අතරින් අප සිටියේ කලාපයෙන් 14 වන ස්ථානයේ. මෙසේ ස්ථාන 7කින් ඉදිරියට එන්නට මේ ව්‍යාපෘතිය අපිට බෙහෙවින් ම ඉවහල් වුණා. එසේම අපි පලවෙනි වතාවට ප්‍රතිඵල විශ්ලේෂණයත් පරිගණකය ඇසුරින් සිද්ධකලා. නමුත් අපි අත්යුරු (Manual) ක්‍රමයත් භාවිතා කලා මෙය තහවුරු කරගන්නට. ඒ අනුවත් අපේ ප්‍රතිඵල විශ්ලේෂණය නිවැරදි බව තහවුරු වුණා.

ඒ අනුව මෙවර අප පාසලේ සාමාන්‍ය පෙල ප්‍රතිඵල අතරින් සමත් ප්‍රතිශතය (මව්බස අනුව විෂයන් 6 ක් සම්මාන 3ක් සහිතව සමත්) 85.12% ක් ලෙස භාෂා මාධ්‍ය තුනෙන්ම කලාපයේ 7 වන ස්ථානය ලබාගත්තා. අනික වත්තල කොට්ඨාශය අතරින් ද ප්‍රථම ස්ථානය ද අප පාසල ලබාගත්තා.

මේ නිසා මම ඔබට කියන්නේ, Think Out of the Box. සැමවිටම සම්ප්‍රදායක ක්‍රමයෙන් බැහැරව හිතන්න. කාලයෙන් කාලයට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් වෙන කොට අපිත් වෙනස් වෙන්න ඕන. ඒ ක්‍රමයට ගියොත් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙයි. මගේ බලාපොරොත්තුව මේ ආකාරයටම උසස් පෙල ප්‍රතිඵලත් මීට වඩා දියුණු කරන්න. එයත් සාර්ථක වෙයි කියලා මම හිතනවා.