දින කිහිපයකට ඉස්සෙල්ලා මම ඔබට කිව්වා සුහුරු පාසල් ව්‍යාපෘතියට ඇතුළත් වුණාට පස්සේ සිදුවුණු වෙනස් කම් පිළිබඳව. පළමු වැන්න තමයි අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වර්ධනය වීම. දෙවැන්න තමයි අපිට 4 වන සුහුරු පන්ති කාමරයක් 1986 වසරේ ආදි ශිෂ්‍යාවන්ගෙන් ලැබීම.
මෙහෙම තත්ත්වයක් ආවාට පස්සේ මොනවා ද අපේ පාසලේ වෙන්නේ කියලා දැනගන්න ඔබ කැමැත්තෙන් ඇතැයි මම සිතනවා. ඔව්. ගුරුභවතුන්ගේ උනන්දුව තවත් වැඩිවෙලා කිව්වොත් ඉතා නිවැරදියි.
මම අලුතින් සුහුරු ගුරු තානාපතිවරු තිදෙනෙක් පත් කරන්නට තීරණය කලා අපේ හිටපු තානාපතිවරු තිදෙනාට අමතරව. දැනට අපේ පාසලේ ගුරුභවතුන් 90 ක් පමණ සිටින නිසාත් අපේ දැනට සිටින සුහුරු ගුරු තානාපති තිදෙනාට මේ ක්‍රියාවලිය තවත් පහසු කිරීමට ඒ සඳහා සකුන්තලා රත්නායක මහත්මිය, මානෙල් ප්‍රියන්ති මහත්මිය සහ ප්‍රශායිනි ත්‍යාගරාජා මහත්මිය මම නවතම සුහුරු ගුරු තානාපතිවරු ලෙස පත්කලා. එතකොට දැන් තානාපතිවරු 6ක්. ඒ අනුව එක් තානාපතිවරයෙකුට ගුරුභවතුන් 15 ක් අදාල වෙනවා.
සකුන්තලා රත්නායක මහත්මිය අපේ පාසලේ වසර 8 ක් කාලයක් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුතුමියක්. අපේ පරිගණක විද්‍යාගාරය සංවර්ධනය කරන්න ඉතා විශාල ලෙස කැපකිරීම් කල කෙනෙක්.
මානෙල් ප්‍රියන්ති මහත්මිය අපේ පාසලේ ඉතිහාසය විෂය උගන්වන ගුරුතුමියක්. ඇය E Board එක හෝ පරිගණක විද්‍යාගාරය භාවිතා කරමින් දරුවන්ට එම විෂය උගන්වන කෙනෙක්. ඒ නිසා මේ තනතුරට ඇයව පත්කලා.
ප්‍රශායිනි ත්‍යාගරාජා මහත්මිය අපේ පාසලට පැමිණි දෙමළ මාධ්‍ය ගුරුතුමියක්. ඇය ගණිතය විෂය සඳහා පත්වීමක් ලැබුවත්, දෙමළ මාධ්‍ය අංශයෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය ද උගන්වනවා. අපේ පාසල විවිධ ජනවර්ග, විවිධ ආගම් රැසක් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ භාෂා මාධ්‍ය තුනෙන්ම උගන්වන එකම බාලිකා පාසල බව ඔබට මතක ඇතැයි සිතනවා. ඒ නිසාම එයත් නියෝජනය වීම පිණිස කුමරගුරු මහතා සහ ත්‍යාගරාජා මහත්මියත් තානාපතිවරු බවට පත්කලා.
මේ ගුරුතුමියත් අන් අයට තමන් දන්න දේ කියලා දෙන්න කැමති කෙනෙක්. ඒ බව මොනවට ඔප්පු කරන්න මම මෙහෙම සඳහනක් කරන්න කැමැතියි. අපේ පාසලේ සිටින වැඩිහිටි ගුරුභවතුන් තමන්ට ඉඩ ලද මොහොතක පරිගණක විද්‍යාගාරයට ගිහින් තමන්ගේ පරිගණක දැනුම වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. එවැනි අවස්ථාවක ඇය උදව් කල මොහොතක් මේ.
ප්‍රශායිනි මහත්මිය පැමිණි පසු අපේ පාසලේ තවත් ඓතිහාසික දෙයක් සිද්ධවුණා. ඒ වසර සියයක සාන්ත ආනා ඉතිහාසයේ පළමුවරට දෙමළ මාධ්‍ය අංශයෙන් සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම ආරම්භ වීම. 2019 වසරේ 10 ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනෙක් හරහා අපි එය ආරම්භ කලා.
විද්‍යාව විෂය උගන්වන ගුරුභවතුන් 11 ශ්‍රේණිය සඳහා සුහුරු පෙළ පොත Smart Text Book භාවිතා කරන්න පටන් අරන්. පළමු වතාවට අපේ පාසලේ එවැන්නක් මගින් විද්‍යා පාඩමක් ඉගැන්වූ ගුරුවරයා හැටියට රෝහණ දිසානායක මහතා ඔබට හඳුන්වා දෙන්න මම කැමතියි.
පරිගණක විද්‍යාගාරයේ පහසු වේලාවක් වෙන්කරවා ගෙන ඔහු තමන්ට අදාල පන්ති දෙකකට එක දවසේ ඉගැන්වීම් කටයුතු කර තිබුණා. ඔහුගේ ප්‍රතිචාරය අනුව 11 ශ්‍රේණියට නියමිත මානව දේහ ක්‍රියාවලි පාඩම ආයාසයකින් තොරව ඉගැන්වීම් කරන්නට ඔහුට හැකි වුණ බව මට දැනගන්නට ලැබුණා. ඒ අනුව අනෙකුත් විද්‍යා ගුරුභවතුන් ද මේ ක්‍රියාවලිය අනුගමනය කරන්නට පටන්ගෙන. ඉඩක් ලද මොහොතක පරිගණක විද්‍යාගාරය හෝ E Board එක භාවිතා කරමින් Smart Text Book එක භාවිතා කරන්නට ඔවුන් පෙළඹී සිටිනවා.
Great work proud of you Sakuntala
ReplyDelete