Tuesday, November 20, 2018

කොළඹ පදවියේ කතෝලික පාසල් වැඩමුළුව

බොහෝ කාලයකට පසුව බ්ලොග් පෝස්ට් එකක් පළකරන්න අවස්ථාවක් ලැබුණා. 

අපගේ සාන්ත ආනාව සුහුරු පාසලක් කිරීමේ කාර්ය දිනෙන් දිනම සාර්ථකව යන ගමනේ දී, අප මෙතෙක් ආ ගමන තවත් පිරිසකට හඳුන්වා දී ඔවුන් තුළත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පුංචි උදව්වක් කරන්න අපිට හැකිවුණා.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තාක්ෂණය යොදාගනිමින් පරිවර්තනය කලයුතු ආකාරය පිළිබඳ වැඩසටහනක්, Microsoft සමාගමේ අනුග්‍රහයෙන්, කොළඹ පදවියේ කතෝලික පාසල් සඳහා 2018-11-17 වන දින මීගමුව, Benedict XVI Catholic Institute of Higher Education හි පැවැත්වුණා.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ Microsoft Innovative Educator නොඑසේ නම් Microsoft සමාගමේ නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අධ්‍යාපන කටයුතු කිරීම පිළිබඳව උපදේශකවරු ලෙස කටයුතු කරන Swapna Pawar මහත්මිය සහ Lim Cheng Bee මහත්මිය විසින්.

මේ සඳහා ආරාධිත කථිකයෙකු ලෙස අප පාසලේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා සහභාගී වීම මට ඉතා සතුටක් දනවන කරුණක්. මගේ සහෝදර කතෝලික පියතුමන් සහ කන්‍යා සොහොයුරියන්ට අපගේ පාසල සුහුරු පාසලකට පරිවර්තනය කිරීමේ මෙතෙක් ආ දුර විදහා දක්වා ඔවුනට හැකි පමණින් උපකාරයක් කරන්නට ලැබීම මට විශාල සතුටක්.

අපගේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා විසින් එම වැඩමුළුවේ දී අප පාසල තාක්ෂණික වෙනස්කම් සමගින් මෙතෙක් ආ දුර පැහැදිලි කල ආකාරය පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.


Thursday, July 19, 2018

ඉතිහාසයේ පළමුවරට සිදුකරන ලද Online විභාගය

දිනෙන් දිනම අපි මේ ව්‍යාපෘතිය යටතේ අලුත් අත්හදා බැලීම් කරන එක ඔබට දැන් අලුත් දෙයක් නොවේ. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මේ Smart School ව්‍යාපෘතිය ගොඩක් වැදගත්වෙන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂයට පමණක් ම ද කියලා. නෑ ඇත්තට ම එහෙම නැහැ.

අනිකුත් විෂයයන් වලට පවා මෙමගින් සුවිසල් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක එහෙමයි කියලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් අපේ පාසලේ සුහුරු ගුරු තානාපතිනි, පසන් හෙට්ටිආරච්චි මෙය කලා. ඒ සාන්ත ආනා ඉතිහාසයේ පළමුවරට සිදුකරන ලද Online විභාගය. ඇය උගන්වන්නේ ඉංග්‍රීසි විෂයයි. ඉතින් එම විෂයෙන් ඇගයීමක් Online ක්‍රමයට ඇය විසින් සිදුකලා.

Microsoft Quiz භාවිතයෙන් ප්‍රශ්න පත්‍රය සකසා Office 365 මගින් සිසුවියන්ගේ ගිණුම්වලට Share කර එමගින් සිසුවියන් ලවා විභාගය පරිගණක විද්‍යාගාරයේ දී කරනු ලැබුවා.









ඉතින් අපිට පැහැදිලිව පේනවා නේද තාක්ෂණය අනිකුත් විෂයයන් වලට භාවිතා කරන්න පුළුවන් කියන එක. හිතට ගත්තොත් කරන්න පුළුවන්.

සාන්ත ආනාවට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් ලැබුණු වගයි

සාන්ත ආනාව සුහුරු පාසලක් බවට පත්කිරීමේ ප්‍රතිඵල මම දිනෙන් දින දකිනවා. ඒ අනුව අපි කරපු දේවල්වල, අපි දරපු මහන්සියේ ප්‍රතිඵල අනුව අපිට වටිනාම තෑග්ගක් ලැබුණා.

ඒ අන් කිසිවක් නොවෙයි, ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් නොඑසේ නම් Learning Management System එකක් අපිට මේ ව්‍යාපෘතිය කරගෙන යන HeadStart ආයතනයෙන් ලැබුණා.





මේ හරහා ළමයින්ගේ ළකුණු විශ්ලේෂණය, පාඩම් හුවමාරු කරගැනීම, අන්තර්ජාලය හරහා විභාග පැවැත්වීම ආදී කටයුතු රැසක් සිදුකරගැනීමට හැකිවෙනවා. ඒ සඳහා පුහුණුව අපේ ගුරුභවතුන්ට ලබා දීම සඳහා HeadStart ආයතනය විසින් අපිට උපකාර ලබා දෙනවා.

Saturday, June 9, 2018

නැති බැරි අය ඇති හැකි අය කිරීම - සුහුරු ගුරුවරුන්ගේ ශක්තිමත් දෙවන පෙළ

එකිනෙකාට එකිනෙකා උදව් කරගන්න එක අද සමාජයේ ගොඩක් තුරන් වෙලා යන දෙයක් බවට පත්වෙලා. සමහරු තමන්ට වඩා තවත් කෙනෙක් ඉහලට යන එක නවත්තන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ අය හිතනවා ඒකෙන් තමන්ට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඒත් මම හිතන්නේ ඒක සහමුලින්ම වැරදි මතයක්.

ඊට අමතරව සමහරු හිතනවා මම හැමදේම දන්නවා කියලා. නොදන්න දෙයක් නැහැ කියලා. තමන් නොදන්න දෙයක් තවත් කෙනෙකුගෙන් ඉගෙනගන්න තියෙන අකමැත්ත නිසා මෙවැනි මත දරන අයත් ඉන්නවා.

තවත් සමහරු තමන් දන්න දේ අනිත් අයට කියලා දෙන්න කැමති නැහැ. ගුරු මුෂ්ටි තියාගෙන වගේ ඉන්න හදනවා.

ඉතින් අපිට පුළුවන් නම් පාසලක් හැටියට ටිකක් හරි මේ මතවාදය දුරුකරන්න ඒක සමාජයට කෙරෙන යහපතක් හැටියට මම විශ්වාස කරනවා. අපේ සුහුරු පාසල් ව්‍යාපෘතිය යටතේත් අපි එවැන්නක් කරන්නට පටන් ගත්තා.

සුහුරු පාසල් ගුරු කවයේ අපේ ඉන්න ඇතැම් ගුරුභවතුන්ට පරිගණක සාක්ෂරතාව මදි. ඒ ගැන ඔවුන් පවසන්න ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ට උනන්දුව තියෙනවා ඒ තත්ත්වයෙන් මිදෙන්න. මොකද සුහුරු පාසලක් හැටියට යන ගමනේ දී අපි ඒ අයවත් අරගෙන යන්න ඕන.

තවත් විදියකට කියනවා නම්, අපි පන්තියක උගන්වන කොට දුර්වල ළමයි හඳුනාගත්තාට පස්සේ ඒ අයව හැමදාම දුර්වල අය කියලා ලේබල් කරන්නේ නැහැනේ. කොහොමහරි ඒ අයවත් උනන්දුකරවලා ඉදිරියට ගන්න උත්සාහ කරනවා. ඉතින් මේකත් එවැනි ම වැඩක් කිව්වොත් නිවැරදියි.

මේ නිසා සෑම සඳුදා දිනකම පාසල අවසන් වූවාට පසු අපේ එවැනි ගුරුභවතුන් වෙනුවෙන් නොමිලේ පැයක් පන්ති පවත්වන්න අපේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනාත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ගුරුතුමිය වන සකුන්තලා රත්නායක මහත්මියත් උනන්දුවෙනවා.

මෙහි විශේෂත්වය නම්, දමිළ මාධ්‍ය සහෝදර ගුරු භවතුන් පවා සහභාගී වීමයි. ඒ අයත් කොහොමහරි සිංහල මාධ්‍යයෙන් උගන්වන දේ තේරුම් අරගෙන මේ කාර්යයේ නිරත වෙනවා.

ඉතින් ශක්තිමත් දෙවන පෙළක් හදන්න නම් මෙවැනි උත්සාහයක් දැරිය යුතුමයි. හේතුව දැන් දරුවෝ අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ තාක්ෂණය පැත්තෙන්. ඉතින් කොහොමහරි මේ අයට සමගාමීව ගුරුභවතුන් සිටිය යුතුයි.

මුල සිටම එනම්, පරිගණකයක් නිවැරදි ව Switch On කිරීමටත් Shut down කිරීමටත් කියලා දෙන්න කියලා ඔවුන් ඉල්ලා සිටි බව මට දැනගන්නට ලැබුණා. ඒ කියන්නේ තමන් නොදන්නවා කියන පදනමෙන් පටන්ගත්තාම ගමනක් යන්න ලේසියි කියන එක ඔවුන් තේරුම් අරගෙන ඉන්නවා. ඒ කරුණ මම මෙහෙම කියලා අවසන් කරන්නම්.

පළවෙනි දවසේ ආවේ පරිගණකයක් හරියට On / Off කරන්නවත් බැරි අය. හැබැයි ඊළඟ සතියේ ඒ අය තනියම පරිගණකය On කරගත්තා විතරක් නෙමෙයි, පන්තිය අවසානයේ තමන් වැඩකරපු පරිගණකය තනියම Shut down කරලා තමයි ඔවුන් යන්න ගියේ !!!!!







Saturday, May 19, 2018

සුහුරු ගුරුවරුන් බිහිකිරීමේ පුහුණු සැසිය - අංක 3

අපේ පාසල සුහුරු පාසලක් කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින්, 2018 මැයි 10 දා අපගේ සුහුරු කව සාමාජිකයින් පුහුණු සැසියකට සහභාගී වුණා. එය මෙතෙක් සාන්ත ආනාවේ පැවැත්වූ විශාලතම ගුරු පුහුණු සැසියයි. මීට අමතරව සුහුරු කවයේ තෝරාගත් සිසුවියන් කිහිපදෙනෙකුත් සහභාගී වුණා. ඒ සඳහා HeadStart ආයතනයේ නියෝජිත මහත්වරුන්ගේ සහයෝගය ද අපට ලැබුණා. ඒ සඳහා ඔවුන්ට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා.


පළමුව අපගේ ගුරු භවතුන් වෙනුවෙන් E-Board එක භාවිතා කරන ආකාරය ගැන ඔවුන් පුහුණුවක් පැවැත්වූ‍වා. එහි දී අපගේ ගුරුභවතුන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා දෙන්නටත් ඔවුන් සමත් වුණා.


https://photos.google.com/photo/AF1QipMGtIn0kX1FFBw-uo8zW51ci7jrbaXjumVkn5sF








ඉන්පසුව පරිගණක විද්‍යාගාරයේ සැසියේ දෙවන භාගය පැවැත්වුණා. එහි දී අපගේ ගුරු භවතුන් සහ සිසුවියන්, Office Forms හරහා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ආකාරයත් එමගින් Online Examination එකක් පවත්වන ක්‍රමවේද ගැනත් පුහුණුවක් ලබාගත්තා.


මේ සැසියට අපේ ගුරු භවතුන් කොතරම් උනන්දු වූවා ද කිව්වොත් තමන්ගේ Laptop පරිගණක පවා ගෙනවිත් ඒ සියලු ක්‍රියාකාරකම් කරන්නට ඔවුන් පෙළඹුණා. එය ඉමහත් සතුටට කාරණයක්. ඇතැම් ගුරුභවතුන් තමන්ගේ ජංගම දුරකතනයෙන් පවා එම ක්‍රියාකාරකම් කරන්නට උත්සුක වූවා.




















Google I/O Extended 2018 හි සාන්ත ආනාවේ නියෝජනය

පාසලක් සුහුරු පාසලක් බවට පත්කරගෙන යන ගමනේ දී විටෙක ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාගැනීමත් හරි වැදගත්. මොකද පාසලකට එවැනි අත්දැකීමක් හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

අපෙන් ඉගෙන ගන්න දරුවන් අනාගත ලෝකයේ ජීවත්වෙන්නේ මොනවගේ ලෝකෙක ද? ඒ අයගේ අනාගත ජීවන රටාව මොනවගේ ද කියන එක තේරුම් ගන්න එක විදුහල්පතිවරියක් හැටියට මට හරි වැදගත්. ඊට අමතරව ගුරුභවතුන්ටත් ඒක දැනගෙන ඉන්න එක හරි වටිනවා.

ඒකට හේතුව, තාක්ෂණය දියුණුවෙන්න දියුණුවෙන්න ඒක හරි විදියට භාවිතා කරන හැටි ළමයි දැනගන්න ඕන. අපිටත් වගකීමක් තියෙනවා හරි අවබෝධයක් අරගෙන හරි විදියකට එවැනි ලෝකයකට ළමයින්ව යොමුකරන්න. එතකොට අනාගතයේ දී ඒ අයට බය නැතුව Smart Life එකක් ගත කරන්න පුළුවන්කම තියෙනවා.

ඉතින් මට මෙහෙම දෙයක් ගැන කියන්න ඕන වුණේ අපේ පාසලටත් ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ගන්න අවස්ථාවක් ලැබුණ නිසා. ඒ Google I/O Extended 2018 සමුළුව. පසුගිය මැයි 8, 9 දිනවල කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මූලස්ථානයේ දී මෙය පැවැත්වුණා.

Google I/O කියන්නේ, Google සමාගම විසින් වාර්ෂිකව තමන්ගේ නව සේවාවන් ගැන ලෝකයට ම දැනුවත් කරන සමුළුවක්. ඉතින් මේකට සමගාමී ව ලෝකය පුරාම හැම රටකම වගේ සමුළුවක් සංවිධානය කරනවා. ඉතින් දකුණු ආසියාවේ විශාලතම Google සමුළුව සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ.

මේ සඳහා නැණස Smart School ව්‍යාපෘතිය යටතේ පාසල්වල සුහුරු ගුරු තානාපතිවරු 7 කට සහභාගී වෙන්නට අවස්ථාව ලැබුණා. මට ඉතාමත් සතුටුයි මගේ පාසලේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතාටත් එම අවස්ථාව ලැබුණා.

ඒ අනුව ඔහු මෙම අවස්ථාවට සහභාගී වුණා. මට පසුදින දැනගන්නට ලැබුණේ අනාගත ලෝකයේ අපේ දරුවන් ජීවත් වෙන ජීවන රටාව කෙබඳු වේ දැයි මෙම සමුළුවෙන් ඔහු වටහා ගත් බවයි.

ඔහුගෙන් දැනගත් තවත් සුවිශේෂ කරුණක් කියන්න තියෙනවා. මේ සහභාගී වූ ගුරු භවතුන් Smart School ව්‍යාපෘතිය යටතේ විශේෂ දක්ෂතා දක්වපු අය. ඉතින් ඒ සියළු දෙනා ම මගේ පාසලේ මාධව විජේසේකර මහතාගෙන් අසා තිබුණු දේ, "ඔයාලා නේ ද අර Office 365 හරහා වාර විභාග ළකුණු ඇතුළත් කලේ? කොහොමද ඒක කලේ?" යන්නයි.

ඇත්තට ම ඒක එතරම් විශාල කර්තව්‍යයක් නොවුණත් අපි උත්සාහ කලා කෙසේ හෝ එය කරන්න. අවසානයේ අපේ ගුරුභවතුන් ඒ දේ කලා. එය විශාල ජයග්‍රහණයක්. සියළුම ගුරුභවතුන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාර. ඉතින් මේ නිසා මේ සමුළුවට පැමිණි ඒ විශිෂ්ට ගුරු භවතුන් අතරේ පවා අපි ගැන කතා බහට ලක්වී තිබීම, මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව, සාන්ත ආනාවේ සමස්ත ගුරුභවතුන්ගේ ම ජයග්‍රහණයක් බව මම කිව යුතුයි.

Office 365 හරහා වාර විභාග ළකුණු ඇතුළත් කල හැටි දැක්වෙන ලිපිය කියවන්න මෙතැනින්






විදුලි බල්බයක් එහෙම නැත්තන් Plug Point එකක් අපි මෙච්චර කල් ක්‍රියාකලේ ඒක ළඟට ගිහින්. නමුත් දැන් ජංගම දුරකතනයෙන් එහෙමත් නැත්තන් Smart Phone එකකින් එය පාලනය කල හැකි යුගය උදාවෙලා.

ඉතින් අපේ ගෙදර ජීවිතය ඉස්සරහට අපි හිතන්නත් කලින් කෘත්‍රිම බුද්ධිය හරහා අපේ පහසුවට යොදාගන්න නව ප්‍රවණතා කෙතරම් තියෙනවා ද කියන එක මේ සමුළුවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම පැහැදිලි කරනවාට වඩා මේ වීඩියෝ මගින් ඔබට තවත් දැනගත හැකියි කියා මම විශ්වාස කරනවා. 2018 වසරේ Google සමාගම විසින් හඳුන්වා දෙන්නට යන නවතම සේවාවන් මොනවා ද කියා මින් ඔබට අවබෝධ කරගත හැකියි.


මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවති Google I/O සමුළුවේ කෙටි සමාලෝචනයක් මෙතනින් දැක්වෙනවා.



Sunday, April 22, 2018

ඉතිහාසයේ පළමුවරට Office 365 ගිණුම් හරහා අන්තර්ජාලය මගින් වාර විභාග ළකුණු ඇතුළත් වී විශ්ලේෂණය වීම ඇරඹුණු වගයි.

සාන්ත ආනා ඉතිහාසයේ විශාල පෙරළියක් කරමින් 2018 වසරේ පළමු වාරයේ විභාග ළකුණු Office 365 ගිණුම් හරහා අපේ ගුරුභවතුන් ඇතුළත් කලා.

අපේ පාසලේ සියළුම ගුරු භවතුන්ට Office 365 ගිණුම් සාදා දී ඇති නිසා ඔවුන්ට මේ කාර්යය කිරීමට හැකිවුණා. අපගේ සුහුරු ගුරු තානාපතිවරු වන පසන් හෙට්ටිආරච්චි, එස්. කුමරගුරු සහ මාධව විජේසේකර  සහ තොරතුරු තාක්ෂණ ගුරුතුමිය වන සකුන්තලා රත්නායක යන මහත්ම මහත්මීන් එකතු වී මෙම කර්තව්‍යය සකස්කලා.

ඔවුන් විසින් පාසලේ පළමුවාරය සඳහා පැවැත්වූ අවසාන ගුරු රැස්වීමේ දී මේ පිළිබඳ ව දැනුවත් කිරීමක් Multimedia Projector මගින් සිදුකලා. ඒ සමගම සියළුම ගුරු භවතුන්ට උපදෙස් පත්‍රිකාවක් සහ තම තමන්ගේ Username සහ තාවකාලික Passwords ඔවුන් විසින් ලබා දුන්නා.

එමගින් පරිගණක දැනුම නැති ගුරු භවතුන් පවා තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ හෝ සිසුවියන්ගේ උපකාරයෙන් තම පන්තිවල වාරවිභාග ළකුණු ඇතුළත් කර තිබුණා.

සියළුම පන්තිභාර ගුරු භවතුන්ට තම පන්තිවලට අදාලව Excel Sheet එකක් සකසා දී OneDrive for Business හරහා Share කර තිබුණු අතර ඔවුන් විසින් ඒ හරහා අන්තර්ජාලය මගින් ළකුණු ඇතුළත් කර තිබුණා.
  1. 6 - 9 ශ්‍රේණි
  2. 10 - 11 ශ්‍රේණි
  3. 12 - 13 ශ්‍රේණි
යනුවෙන් වර්ග තුනක් යටතේ එක් එක් අංශවලට අදාල විෂයයන් ඇතුළත් කරනලද Excel Sheets ඔවුන්ට Share කර තිබුණා.



මෙහි විශේෂ වාසිය වන්නේ, පන්ති භාර ගුරු භවතුන්ට ස්වයංක්‍රීයව තමා ඇතුළත් කරන ලද ළකුණු වලට අදාලව, එක් එක් සිසුවියගේ මුළු ළකුණු, සාමාන්‍යය සහ පන්තියේ ස්ථානය ස්වයංක්‍රීයව ගණනය කර පෙන්වීමයි. මෙහි දී 1,2,3 ස්ථාන කහ පැහැයෙනුත් සහ 4 - 10 ස්ථාන කොළ පැහැයෙනුත් පෙන්වනවා. එමගින් පන්තියේ පළමු ස්ථාන ලබාගත් 10 දෙනා පැහැදිලිව වෙන් කර හඳුනාගන්නට පුළුවන්.



මීට අමතරව එක් එක් විෂයේ දී ළකුණු 40ට අඩු ලබාගත් සිසුන් රෝස වර්ණයෙන් පෙන්වනවා.



ඊටත් අමතරව විශේෂ කාර්යය වන්නේ එක් එක් විෂයයන් සඳහා ළකුණු 10 ක පන්ති ප්‍රාන්තර අනුව ස්වයංක්‍රීයව ළකුණු විශ්ලේෂණය කර පෙන්වීමයි. මෙය කොතරම් අපගේ ගුරු භවතුන්ට පහසුවක් වී ද කිවහොත්, මීට පෙර ඔවුන් විසින් ළකුණු විශ්ලේෂණය සඳහා සෑහෙන කාලයක් ගත කල අතර මෙවර එය විශාල වශයෙන් කාර්යය පහසු වී තිබුණා.



මෙම ක්‍රමය නිසා පහසුවෙන් මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පවා හැකියි. තවද එක් එක් පන්තිභාර ගුරු භවතා සඳහා Share කර ඇත්තේ තමාට අදාල පන්තියේ Excel Sheet එක පමණයි.

  • ශ්‍රේණි භාර ගුරුභවතුන්ට තමාට අදාල ශ්‍රේණියේ Excel Sheets ද
  • අංශ භාර ගුරුභවතුන්ට තමාට අදාල අංශයේ Excel Sheets ද
  • විදුහල්පතිනිය වශයෙන් මා හට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, සුහුරු ගුරු තානාපතිවරුන්ට සහ තොරතුරු තාක්ෂණ විෂය ගුරු භවතුන්ට පමණක් සියළුම Excel Sheets ද
Share කර තිබෙනවා.

එසේම සිසුන්ගේ නම්, ළකුණු ඇතුළත් කරන Excel Sheet Cells හැර අනෙකුත් Cells සියල්ලම (එකතුව, සාමාන්‍යය සහ පන්තියේ ස්ථානය, පන්ති ප්‍රාන්තර ඇතුළුව) Lock කර තිබෙන්නේ. දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් අප මෙවැනි පියවර අනුගමනය කර තිබෙනවා.

මෙය අප විසින් අත්හදාබැලීමක් ලෙස පළමුවරට සිදු කරන ලද අතර එය ඉතා සාර්ථක බව ඉමහත් සතුටින් මම ප්‍රකාශකරනවා. අනාගතයේ දී අපගේ ගුරු භවතුන්ගේ ප්‍රතිචාර විමසා මෙහි යාවත්කාලීන කටයුතු කිරීමට මමත් මගේ සුහුරු ගුරු තානාපතිවරු සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් බලාපොරොත්තුවෙනවා.

සුහුරු පාසලේ අලුත් අත්හදාබැලීම්

සාන්ත ආනාව සුහුරු පාසලක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අපගේ පාසලේ යම් යම් අත්හදාබැලීම් කරන්නට මම උපදෙස් දුන්නා. ඒ යටතේ අපේ ගුරුභවතුන්ට සහ සිසුවියන්ට Office 365 ගිණුම් සකසා දුන්නා.

ඒ හරහා ඇතැම් ගුරුභවතුන් OneNote මෘදුකාංගය භාවිතා කරමින් තම පාඩම් මාලාවන් සිසුවියන්ට ඉදිරිපත් කරන්නට කටයුතු සැලැස්වූවා. මෙහි ඇති විශේෂ වාසියවන්නේ, සිසුවියන්ට නිවසේ සිටම වුණත් තම පාඩම් මාලාවන් බැලීමට හැකිවීමයි. පාසල් කාලය තුළ දී වූවත් මෙය සාර්ථකව අත්හදා බැලීමට හැකි වී තිබෙනවා.





මීට අමතරව එසේම Sway App එක භාවිතා කරමින් ද අපගේ ගුරු භවතුන් ඉතා සාර්ථකව තම පාඩම් මාලාවන් දැන් ඉදිරිපත් කරනවා. E Board එක භාවිතා කරමින් ඉතා සාර්ථකව මේ කටයුතු කරන නිසා විශේෂයෙන්ම භූගෝලය, ඉතිහාසය වැනි විෂයයන් ඉගැන්වීමට පහසුවක් වී ඇති බව අපේ ගුරුභවතුන්ගේ ප්‍රතිචාර මගින් දැනගන්නට ලැබුණා.

දැන් ඒ නිසා ඇත්තටම E Board එකට පන්තිය වෙන් කරගන්නට පුදුම තදබදයක් ඇතිවෙලා තියෙන්නේ!!!